දුනිත් වෙල්ලාලගේ ප්‍රමුඛ පන්දු යවන්නෝ කොදෙව්වන් දණගස්වති-දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 73 ජයක්

මංගල තරගය ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ ප්‍රමුඛ දඟ පන්දු යවන්නන්ගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ ඊයේ රාත්‍රියේ පැවති දෙවැනි විස්සයි20 තරගය ලකුණු 73කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මේ සමඟ තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1ක් ලෙස සමකර ගැනීමට ද ශ්‍රී ලංකා පිලට හැකි විය.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම දුන් ලකුණු 163ක ඉලක්කය හඹා ගිය කොදෙව් පිලට ඕවර 16.1කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 89ක් පමණි.

මෙය කොදෙව් පිල ශ්‍රී ලංකාව හමුවේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක් විය. ඔවුන් මින් පෙර 2009 වසරේ ඕවල් පිටියේදී ඔවුන් ලකුණු 101ක දැවී ගොස් තිබිණි.

ඊයේ තරගයේදී 109 වැනි ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 ජාත්‍යන්තර තරග වරම් දිනාගත් දුනිත් වෙල්ලාලගේ පිළිතුරු ඉනිම ඇරඹූ කොදෙව් පිලට තෙවැනි ඕවරයේදීම අභියෝග කළේ පළමු තරගයේ වීරයා වූ බ්‍රැන්ඩන් කිං ලකුණු 5කට පිටියෙන් ඉවත් කරමිනි.

ඊළඟ ඕවරයේදී එවින් ලුවිස් (7) දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වූ අතර, පිට පිට ඕවර 2කදී ලකුණු 5ක් තුළ තවත් කඩුලු 2ක් බිඳ දැමීමට වෙල්ලාලගේ සමත් විය. මුළු ලකුණු 22ක් වන විට කොදෙව් පිල අසීරු තත්ත්වයට වැටී තිබුණේ කඩුලු 4ක් අහිමි වීමෙනි.

ඊයේ කිසිදු කොදෙව් පිතිකරුවකුට පිටියේ ස්ථාවර වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ඉඩක් නොලැබුණු අතර, පන්දු 17කින් ලකුණු 20ක් රැස් කළ නායක රොව්මන් පවෙල් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. අල්සාරි ජෝසප් ලකුණු 16ක් සහ ෂර්ෆාන් රදර්ෆර්ඩ් ලකුණු 14 රැස් කළ අතර, සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාවට පිවිසීමට නොහැකි වූහ. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ දුනිත් වෙල්ලාලගේ සිය ඕවර 4 නිමා කළේ ලකුණු 9කට කඩුලු 3ක් බිඳ දමමිනි. ඔහුට අනගි සහායක් දුන් මහීෂ් තීක්ෂණ, චරිත් අසලංක සහ වනිඳු හසරංග කඩුලු 2 බැගින් දවා ගත්හ.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් දීමට පැතුම් නිශ්ශංක සමත් වූයේ අර්ධ ශතකයක් රැස් කරමිනි. කුසල් මෙන්ඩිස් සමඟ පළමු කඩුල්ලට පන්දු 60කින් ලකුණු 77ක් රැස් කළ පැතුම් දෙවැනි කඩුල්ලට කුසල් ජනිත් සමඟ ලකුණු 34ක් එක් කළේය. මෙන්ඩිස් පන්දු 25කින් ලකුණු 26ක් සහ ජනිත් පන්දු 16කින් ලකුණු 24ක් රැස් කළ අතර, ඊයේ සිය 12 වැනි විස්සයි20 අර්ධ ශතකය රැස් කරමින් තරගයේ වීරයා වූ පැතුම් නිශ්ශංක දැවී යන විට පන්දු 49කින් ලකුණු 54ක් රැස් කර තිබුණේ හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟිනි. කමිඳු මෙන්ඩිස් පන්දු 14කින් ලකුණු 19ක් ඉනිමට එක් කළේය. පන්දු යැවීමේදී රොමාරියෝ ෂෙපර්ඩ් කඩුලු 2ක් දවා ගත්තේය.

මේ තරගයේදී ශ්‍රී ලංකා පිල වෙනස්කම් දෙකක් සිදු කරමින් අසිත ප්‍රනාන්දු සහ චමිඳු වික්‍රමසිංහ වෙනුවට දුනිත් වෙල්ලාලගේ සහ නුවන් තුෂාර කැඳවා තිබූ අතර, කොදෙව් පිලට ෂායි හෝප් වෙනුවට ඇන්ඩ්‍රි ෆ්ලෙචර් එක්ව සිටියේය.

දෙපිල අතර තෙවැනි සහ අවසන් විස්සයි20 තරගය හෙට (17) දඹුල්ලේදීම පැවැත්වේ.

ශ්‍රී ලංකාව

පැතුම් නිශ්ශංක ඇ.අල්සාරි 54

කුසල් මෙන්ඩිස් ඇ.පවෙල් ප.ස්ප්‍රිංගර් 26

කුසල් පෙරේරා ක.මු.ක. ෂමර් 24

කමිඳු මෙන්ඩිස් ඇ.රදර්ෆර්ඩ් ප.ෂෙපර්ඩ් 19

චරිත් අසලංක ප.ෂෙපර්ඩ් 9

භානුක රාජපක්ෂ නොදැවී 5

වනිඳු හසරංග නොදැවී 5

අතිරේක 20

එකතුව කඩුලු 5ක් දැවී (ඕවර 20) 162

කඩුලු බිඳ වැටීම: 1-77, 2-111, 3-127, 4-141, 5-156

පන්දු යැවීම: අල්සාරි 4-0-33-1, ෂමර් 3-0-35-1, මෝටි 4-0-13-0, ෂෙපර්ඩ් 3-0-23-2, ස්ප්‍රිංගර් 2-0-24-1, චේස් 4-0-24-0.

බටහිර ඉන්දීය කොදෙව්

බ්‍රැන්ඩන් කිං ස්ට.මෙන්ඩිස් ප.දුනිත් 5

එවින් ලුවිස් ක.මු.ක. ප.තීක්ෂණ 7

ඇන්ඩ්‍රි ෆ්ලෙචර් ඇ.කමිඳු දුනිත් 4

රොස්ටන් චේස් ඇ.කමිඳු ප.දුනිත් 0

ෂර්ෆාන් රදර්ෆර්ඩ් ප.අසලංක 14

ගුඩකේෂ් මෝටි ප.අසලංක 4

රොව්මන් පවෙල් ඇ.මෙන්ඩිස් ප.පතිරණ 20

රොමාරියෝ ෂෙපර්ඩ් ක.මු.ක. ප.හසරංග 1

ෂමර් ස්ප්‍රිංගර් ඇ.වෙල්ලාලගේ ප.හසරංග 7

අල්සාරි ජෝසප් ප.තීක්ෂණ 16

ෂමර් ජෝසප් නොදැවී 5

අතිරේක 6

එකතුව සියල්ලන් දැවී (ඕවර 16.1) 89

කඩුලු බිඳ වැටීම: 1-12, 2-14, 3-17, 4-22, 5-38, 6-39, 7-40, 8-60, 9-83, 10-89

පන්දු යැවීම: තීක්ෂණ 3.1-0-7-2, තුෂාර 1-0-9-0, දුනිත් 4-0-9-3, අසලංක 2-0-6-2, කමිඳු 1-0-10-0, හසරංග 3-0-32-2, පතිරණ 2-0-12-1.