මැදපෙරදිග ගැටුම හෙවත් අරාබි – ඊශ්‍රායල් යුද්ධය තීරණාත්මක හා අතිශය සංකීර්ණ තත්ත්වයක් කරා තල්ලු වී ඇත. තත්ත්වය බරපතළ වූයේ ඉරානය හා ඊශ්‍රායලය ඍජු යුද්ධයක පැටලීම නිසාය. මේ වනවිට ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටින අතර, එම ප්‍රහාරය තෙල් නිෂ්පාදනාගාර ඉලක්කකොට සිදුවෙතැයි අනුමාන කෙරේ. ඉරානය ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටින්නේ ඊශ්‍රායලය තෙල් නිෂ්පාදනාගාර වෙත ප්‍රහාරයක් එල්ල කළහොත්, විස්මිත ප්‍රති-ප්‍රහාරයක් ලබාදීමට සූදානම් බවය.
වඩාත් භයානක පසුබිමක් ගොඩනැඟෙමින් පවතින්නේ තවත් රටවල් මේ ගැටුමට සම්බන්ධ වෙතැයි ඉඟි පළවීමත් සමඟය. අරාබි රටවල් රුසියාව, චීනය, උතුරු කොරියාව, ඉරානයේ පැත්ත ගන්නා බවක් පෙනෙන්නට ඇති අතර, ඊශ්‍රායලය, අමෙරිකාව, යුරෝපා සංගමය, නේටෝ සංවිධානය ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය නියෝජනය කරන බව පෙනෙයි. මේ අනුව විශේෂඥයන්ගේ අවධානය ප්‍රධාන සාධක හතරක් කෙරෙහි යොමු වී ඇත.
(i) තුන්වැනි ලෝක යුද්ධයක ආරම්භය ඇතිවිය හැකිය.
(ii) යුද්ධයක දී න්‍යෂ්ටික අවි භාවිත කිරීමේ සම්භාවිතාවක් තිබේ.
(iii) බලශක්ති අර්බුදයක් මතුවන ලකුණු පහළවී ඇත.
(iv) ආහාර අර්බුදයක් හා සාගතයක් පැතිර යා හැකිය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට තෙවැනි ලෝක යුද්ධයක් නැවැත්වීමේ හැකියාව නැති බව මේ වනවිටත් පෙනීගොස් තිබේ. ගාසා තීරයේ සිදුවන මානුෂික ඛේදවාචකය නැවැත්වීමට එක්සත් ජාතීන් ගත් සියලු ප්‍රයත්න පරාජයට පත්විය. මේ වනවිට එහි මහ ලේකම්වරයාට ඊශ්‍රායලය තහනම් භූමියක් වී ඇත. ගුතරෝස් හැම පැත්තකින්ම පීඩනයකට හසු වී ඇති බවක් පෙනෙයි.
අමෙරිකාව ඉරානයට පමණක් නොව, ඉරානය සමඟ තෙල් ගනුදෙනුවල යෙදෙන රටවලට ද සම්බාධක පනවා ඇත. ඉරානයේ තෙල් නිෂ්පාදනාගාරවලට පහරදීම සඳහා ඊශ්‍රායලය මෙහෙයවන්නා අමෙරිකාව යැයි කිව හැකිය. අමෙරිකාව ඊශ්‍රායලයට ලබාදෙන යුද ආධාර වැඩිකර ඇති අතර, යුක්රේන ජනාධිපතිවරයාට ද එබඳුම සහයෝගයක් ලබාදෙයි. මේ අතර අමෙරිකන් උප ජනාධිපතිනි කමලා හැරිස් ප්‍රසිද්ධියේ කියා සිටින්නේ අමෙරිකාවේ පරම සතුරා ඉරානය බවය.
සාමය ගැන හෝ සටන් විරාමයක් ගැන හෝ බලාපොරොත්තු ඇතිකර ගතහැකි පසුබිමක් පෙනෙන තෙක් මානයක නැත. හැම පැත්තෙන්ම ඇසෙන්නේ වහසිබස්ය. ගාසා තීරයට, බටහිර ඉවුරට මෙන්ම ලෙබනනයටත් ප්‍රහාර එල්ල වෙයි. රෝහල්, පාසල්, අනාථ කඳවුරු පොදු ස්ථාන කිසිදු සමාවකින් තොරව බෝම්බ ප්‍රහාරවලට ලක්වෙයි. දිනපතාම සිය ගණන් අහිංසකයෝ මියයති. අනාථ වෙති. ප්‍රහාරවලට ලක්වන ප්‍රදේශවල ගොඩනැඟිලි බිමට සමතලා වෙයි. බොහෝ ප්‍රදේශවලට ජලය නැත. විදුලිය නැත. එක්සත් ජාතීන්ගේ ආහාර ආධාර වැඩසටහන පවා හරිහැටි ක්‍රියාත්මක වන්නේ නැත. කුසගින්නේ ඇඟිලි උරන දරුවන් ද, අහස දෙස බලාගෙන හූල්ලන වැඩිහිටියන් ද මේ ප්‍රදේශවලදී දැකගත හැකිය. එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා ඛණ්ඩවලට ද ඊශ්‍රායල් ප්‍රහාර එල්ලවී ඇත. යුද්ධයට නීතියක් නැත. මානව දයාවක් නැත.
ආර්ථික විශේෂඥයන් මේ වනවිට දක්වා ඇති පුරෝකථනවලට අනුව මැදපෙරදිග ගැටුම තවදුරටත් උත්සන්න වුවහොත් බොරතෙල් බැරලයක මිල අ:ඩො: 300 දක්වා ඉහළ යා හැකිය. දැනට එය පවතින්නේ බැරලයක් අ:ඩො: 77ටය. මෙබඳු මිල ඉහළයෑමක් සිදුවුවහොත් ශ්‍රී ලංකාව වැනි තෙල් සම්පත් අහිමි දුප්පත් රටවල් අසීරු අවස්ථාවකට මුහුණදෙනු ඇත. පවතින තත්ත්වයට අනුව ඉදිරි කාලය තුළ ඉන්ධන අර්බුදයක් මතුවීමට බලපාන තවත් සාධක කිහිපයක් තිබේ.
(i) හූති ප්‍රහාර නිසා නාවික ගමනාගමනයට බාධා එල්ලවෙයි.
(ii) බටහිර රටවල් තෙල් පරිභෝජනය හා ගෑස් පරිභෝජනය වැඩිකරන ශීත සමය ළඟ එයි.
(iii) චීනයේ, අමෙරිකාවේ දැවැන්ත ආර්ථිකයන් යළි ප්‍රකෘති තත්ත්වයට පැමිණ ඇත. ඒ අනුව බලවත් රටවල තෙල් පරිභෝජනය ඉහළ යනු ඇත.
(iv) ඔපෙක් සංවිධානය තෙල් මිල ඉහළ දැමීමට තීරණය කරනු ඇත.
ලොව තෙල් නිධිවලින් 60%ක් පමණ මැදපෙරදිග ගල්ෆ් රටවලට අයත් බව කියනු ලැබේ. තෙල් නිෂ්පාදනය, අපනයනය, පිරිපහදුව අතින් ගත්තද මැදපෙරදිග කලාපය විශේෂ වෙයි. මේ කලාපයේ තෙල් නිෂ්පාදනය අඩාල වුවහොත් ලෝක තෙල් සැපයුම මුළුමනින්ම බිඳ වැටෙනු ඇත. ලොව අංක එකේ තෙල් නිෂ්පාදකයා වන්නේ සෞදිඅරාබියයි. ආක්‍රමණ නිසා ඉරාකයේ හා ලිබියාවේ තෙල් නිෂ්පාදනය දුර්වල වී ඇත. අප්‍රිකාවේ හා ලතින් අමෙරිකාවේ තෙල් සම්පත් සහිත රටවල්වල පවතින්නේ ද අර්බුදකාරී තත්ත්වයකි. ඉන්ධන සඳහා සාර්ථක විකල්පයක් ද මෙතෙක් සපයාගෙන නැත.
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා හා ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා අතර ද ගැටුමක් මෝදු වෙමින් පවතියි. නෙතන්යාහු අගමැතිවරයා ජගත් මහලේකම්වරයා වෙත නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියේ ලෙබනනයෙන් සාමසාධක හමුදාව ඉවත් කරගත යුතු කාලය පැමිණ ඇති බවය. එම නිවේදනයට ජගත් මහලේකම්වරයාගෙන් සාර්ථක ප්‍රතිචාරයක් නොලැබුණු අතර, ඊශ්‍රායල් හමුදා සාමසාධක මූලස්ථානයට ප්‍රහාරයක් එල්ල කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන අන්දමට එය යුද අපරාධයකි. ඊට බෙන්ජමින් නෙතන්යානු කෙළින්ම වගකිව යුතුය. ඊශ්‍රායලය යුද නීතිය, මානුෂීය නීතිය පමණක් නොව; එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති පවා උල්ලංඝනය කරන බව දැකගත හැකිය. එහෙත් ලෝක බලවතා වූ අමෙරිකාව තවදුරටත් ඊශ්‍රායලය සාධාරණීකරණයට ලක් කරනු ද දැකගත හැකිය.
නිකුත් වී ඇති අලුත්ම ආරංචිවලට අනුව අමෙරිකාවේ විශේෂ හමුදා ඛණ්ඩයක් ඊශ්‍රායලයට පැමිණ තිබේ. ඒ රොකට් හා මිසයිල් ප්‍රහාර වැළැක්විය හැකි ආරක්ෂණ පද්ධතියක් ද සමඟය. එහි යටි අර්ථය වන්නේ යුද්ධය ආරම්භ වීම අතළඟ බවය. මේ අතර ඉරාන විදේශ අමාත්‍යවරයා කියා සිටියේ ඊශ්‍රායලයේ ඕනෑම ප්‍රහාරයකට මුහුණ දී ප්‍රති ප්‍රහාර දීමට තම රට සූදානම් බවය. ඉරාන රජය හැමවිටම තම හමුදාවන් දිරිමත් කරන ලෙස කටයුතු කරනු ද දැකගත හැකිය.
දේශීය වශයෙන් බලවත් ආර්ථික පසුබෑම්වලට ලක්ව විදේශීය විනිමය හිඟයකින් පෙළෙන රටවල් ගණනාවක් පවතියි. ග්‍රීසිය, ආර්ජන්ටිනාව, චිලී රාජ්‍යය, ශ්‍රී ලංකාව, මාලදිවයින, බංග්ලාදේශය එම රටවල් අතරින් කිහිපයකි. ලෙබනනය පසුවන්නේ බලවත් ආර්ථික අර්බුදයක් හමුවේය. යුදමය තත්ත්වය තීව්‍ර වී නැව් ගාස්තු වැඩිවන්නට, බොර තෙල් මිල ඉහළ යන්නට පටන් ගතහොත් ආර්ථික අර්බුද හා ණයබර සහිත රටවල් තවතවත් අසීරුතාවට පත්වනු ඇත. ඒ අතර ශ්‍රී ලංකාව ද පැවතීම අපගේ අවධානයට ලක්විය යුතු විශේෂ කාරණයකි.