නීල් හපුහින්න ඔස්ට්‍රේලියාවේ දී හදිසි අනතුරකින් ජීවිතක්ෂයට

හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වන නීල් හපුහින්න මහතා හදිසි අනතුරක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මුහුදේ දිය නාමින් සිටිය දී දියේ ගිලීම හේතුවෙන් ඒ මහතා මියගොස් තිබෙන බව වාර්තා වෙයි.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ධුරය ඇතුළු පැවති ආණ්ඩු කිහිපයකම ප්‍රධාන තනතුරු දරා ඇති හපුහින්න මහතා මිය යන විට 61 හැවිරිදි වියේ පසුවිය. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඒ මහතා සිය පවුල සමඟ ඔස්ට්‍රේලියාවේ තාවකාලික පදිංචියට ගොස් සිටිය දී මෙම අනතුර සිදුව තිබේ.

ඒ මහතා දියණියන් දෙදෙනෙකුගේ පියෙක් වන අතර, බිරිය නීතිඥවරියකි. වැඩිමල් දියණියගේ විවාහ උත්සවය මෙරට පැවැත්වීම සඳහා පසුගිය සැප්තැම්බර් මාසයේ දී ඒ මහතා අවසන් වරට මෙරටට පැමිණ ඇත.

නීල් හපුහින්න මහතාගේ මෙම හදිසි මරණය පිළිබඳව ඔස්ට්‍රේලියානු පොලිසිය පරීක්ෂණ පවත්වන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුම්දීමට නියමිතයි.