ෂැංහායි සහයෝගිතා සංවිධාන සමුළුව පාකිස්තානයේදී ඇරැඹේ-නීතිය හා සාමය රැකීමේ නීතියත් බලාත්මක කරයි

ආසියානු හා යුරෝපීය දේශපාලන, ආර්ථික හා ජාත්‍යන්තර ආරක්ෂාව මූලික කරගත් ෂැංහායි සහයෝගිතා සංවිධාන සමුළුව ඊයේ පාකිස්තානයේ සත්කාරකත්වයෙන් ඉස්ලාමාබාද් අගනුවරදී ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම, ආර්ථික සහයෝගිතාව හා දේශගුණික විපර්යාස වැනි ප්‍රධාන කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් සාමාජික රටවල් අතර බහුපාර්ශ්වික සහයෝගිතාව වැඩිදියුණු කිරීම අරමුණු කරගත් මෙවර ෂැංහායි සහයෝගිතා සමුළුව පැවැත්වෙන්නේ 25 වැනි වරටය.

පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ ෂැංහායි සහයෝගිතා සංවිධාන සමුළුවට සහභාගි වන විදෙස් රාජ්‍ය නායකයන් හා නියෝජිතයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉස්ලාමාබාද් අගනුවර අධි ආරක්ෂිත කලාපයක් බවට පත් කර ඇතැයි ද, අගනුවරට තුන් දින රජයේ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම කාලය ඇතුළත පාසල් හා ව්‍යාපාරික ස්ථාන වසා දමන ලෙසට පාකිස්තාන රජය උපදෙස් දී ඇති අතර, නගරයේ ආරක්ෂාව වෙනුවෙන් අතිවිශාල පොලිස් හා හමුදා කණ්ඩායම් යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ෂැංහායි සහයෝගිතා සංවිධාන සමුළුව පැවැත්වෙන දිනවල ඉස්ලාමාබාද් අගනුවර විරෝධතා රැලියක් පවත්වන බවට ඉම්රාන් ඛාන්ගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂය නිවේදනය කර ඇති බැවින් කරච්චි ඇතුළු නගර ගණනාවකට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 144 වැනි වගන්තිය අනුව නීතිය බලාත්මක කර ඇතැයි ද වාර්තා වේ. එම නීතියට අනුව දේශපාලන රැලි පැවැත්වීම හා අයුතු ජනරාශි මුළුමනින්ම තහනම් වන අතර, සාමයට බාධා වන ක්‍රියාකාරකම් අත්අඩංගුවට පත්වීමට හේතු වන බව ද වාර්තා වේ.