ලේ දෙන්න ආ 1327කට ඒඩ්ස්

රුධිර පාරවිලයන කටයුතුවලදී පමණක් පසුගිය වසරේදී ඒඩ්ස් ආසාදිතයන් 1327 දෙනකු මෙරටින් අලුතින් වාර්තා වී ඇති බව වයඹ පළාත් ඒඩ්ස් මර්දන කමිටුවේ ලේකම් සහ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චිත්‍රාන් හතුරුසිංහ මහතා ප්‍රකාශ කළේය. ජාතික ඒඩ්ස් මර්දන දිනය නිමිත්තෙන් සංවිධානය කරන ලද වයඹ පළාත් ඒඩ්ස් මර්දන වැඩසටහනට සහභාගි වෙමින් වෛද්‍ය හතුරුසිංහ මහතා මේ තොරතුරු සඳහන් කළේය.

වයඹ පළාත් සභාවේ ලිච්ඡවී ශාලාවේදී පැවති මෙම වැඩසටහනට ප්‍රධාන ආරාධිතයා ලෙස වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතා සහභාගි විය. දිවයිනේ ජාතික ඒඩ්ස් මර්දන වැඩසටහනක් සඳහා පළාත් ආණ්ඩුකාරවරයකු සහභාගි වූ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය හතුරුසිංහ මහතා,

“පසුගිය 2023 වසරේදී දිවයිනේ ඒඩ්ස් රෝග ව්‍යාප්තිය සීයට 27කින් ඉහළ ගොස් තිබෙනවා. මෙම රෝගයට වයස අවුරුදු 15 සිට 29 දක්වා වයස්වල තරුණයන් ගොදුරු වීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් බව පේනවා. පසුගිය දෙදහස් තුන වසරේ සිට එච්අයිවී ඒඩ්ස් රෝග ව්‍යාප්තිය ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් තිබෙනවා. ⁣රුධිර පාරවිලයන කටයුතුවලදී පමණක් මෙවැනි ආසාදිතයන් 1327ක් හඳුනාගෙන තිබෙනවා. වසර 2030දී මෙම රෝගය තුරන් කිරීම සඳහා අප හඳුනාගත්තු ක්‍රමවේදයක් තිබෙනවා. පළමු අවස්ථාවේදීම අපි රෝගය හඳුනාගත්තොත් මේ රෝගීන්ගෙන් සීයට 95ක් පමණ ප්‍රතිකාර සඳහා යොමු කිරීමට අපට හැකියාව තිබෙනවා. මේ රෝගීන්ගෙන් සීයට 95ක්ම රෝගී වයිරසය බින්දුව බවට පත් කර ගත්තොත් අපට සාර්ථක වෙන්න පුළුවන්. නමුත් අපි මෙවැනි රෝගීන් හඳුනා ගැනීමේදී අප ඉන්නේ සීයට 82ක පමණ සීමාවකයි. ඒඩ්ස් රෝග ආසාදිතයන් පමණක් නොවෙයි උපදංශය වැනි සමාජ රෝගවලට ගොදුරුවූවන් ද රුධිර පාරවිලයන කටයුතුවලදී හමුවී තිබෙනවා. වෛද්‍ය වෘත්තිකයන් විදිහට මේ රෝග තත්ත්වයන් වළක්වා ගැනීමට කොපමණ මහන්සි ගත්තත් වැඩක් නැහැ, ඒ සඳහා අවශ්‍ය දේශපාලන සහාය නොලැබෙනවා නම්. මෙවැනි වැඩසටහනක් සාර්ථක කර ගැනීමට නම් ඒ සඳහා දේශපාලන සහාය ද අවශ්‍යමයි.

වයඹ ප්‍රධාන ලේකම් දීපිකා ගුණරත්න, වයඹ පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ලේකම් ඩී.එච්.එම්.එන්.පී දසනායක, වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි මහතා ද අදහස් දැක්වීය. කුලියාපිටිය, හලාවත රෝහල්වල අධ්‍යක්ෂවරුන්, ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ප්‍රජා වෛද්‍ය විශේෂඥයන්, උසස් පොලිස් නිලධාරීන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු අධ්‍යාපන අංශයේ උසස් නිලධාරීන්, ඒඩ්ස් මර්දන නිවාරණ කටයුතු සඳහා ක්‍රියාත්මක ස්වේච්ඡා සංවිධානයන්හි නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.