දිවයින පුරා පවුල්41277ක පුද්ගලයන් 159674ක් පීඩාවට-ආරක්ෂක ලේකම් කියයි

ආපදා සහන කටයුතු වෙනුවෙන් 6500ක භට පිරිසක්

මුදා ගැනීමේ කණ්ඩායම් 34ක් බොට්ටු ,ට්‍රක් රථ 2ක් සහ සන්නද්ධ රථ 23ක්

සියලු නිරීක්ෂණ කටයුතු ගුවන් හමුදාවෙන්


අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිවයින පුරා පවුල් 41277ක පුද්ගලයන් 159674ක් පීඩාවට ලක්ව ඇති බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මා‍ර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පැවසීය. අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා ඊයේ (14) සඳහන් කළේ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සම්බන්ධීකරණය සමඟ ජනාධිපතිවරයාගේ උපදෙස් මත ත්‍රිවිධ හමුදාව ආපදාවට ලක්වූ ජනතාවට සහන සැලසීම ආරම්භ කළ බවයි. එහිදී අදහස් දැක්වූ යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කර්නල් සංජීව දිසානායක මහතා මෙසේ කීය. ගම්පහ, කොළඹ, කළුතර, ගාල්ල ප්‍රධාන ආපදාවට ලක් වූ දිස්ත්‍රික්ක රැසක ආපදා සහන කටයුතු වෙනුවෙන් 6500ක බට පිරිස් ස්ථානගත කර තිබෙනවා.

මල්වාන, කොටුගොඩ, වටරැක, සීතාවක, මීතොටමුල්ල, කොලොන්නාව, පැලවත්ත, යටදොළවත්ත, නෙළුව යන ප්‍රදේශ සඳහා සියයකට අධික නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් දහයක් යොදවා තිබෙනවා. සෙවීමේ සහ මුදා ගැනීමේ කණ්ඩායම් 34ක් බෝට්ටු 6ක් යුනි බෆල් රථ 6ක් ට්‍රක් රථ 2ක් සන්නද්ධ රථ 23ක් අඟුල් 15ක් දැනටමත් සහන කටයුතු වෙනුවෙන් යොදවා තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා –

ආපදාවට පත් වූ ජනතාවට සහන වීමට නාවික හමුදාව කණ්ඩායම් දහයක් කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික් වෙනුවෙන් යොදවා තිබෙනවා.

ඩිංගි යාත්‍රා යොදවමින් ජනතාවට සහන සැලසීම සහ ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාම සඳහා අවශ්‍ය උපකරණ සපයා තිබෙනවා. ආපදාවට ලක්වූවන් මුදා ගැනීම මෙන්ම සුරක්ෂිත මධ්‍යස්ථානවල සිටින ජනතාවට ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම විදුලි බල මණ්ඩලය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන නිලධාරීන්ට අවශ්‍ය සහාය ලබාදීම වෙනුවෙන් විශේෂ කණ්ඩායම් 56ක් බටහිර, වයඹ, සහ දකුණ ප්‍රදේශවලට යොමු කර තිබෙනවා. ඊට අමතරව නාවික හමුදාවේ සියලු අංශ දිවයිනේ ඕනෑම අවස්ථාවක ඇතිවන හදිසි ආපදා තත්ත්වයන් සඳහා මුහුණදීමට හැකි වන පරිදි සූදානම් කර තිබෙනවා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා-

ආපදාවට ලක්වූවන් මුදා ගැනීම සහ සහන සැලසීමේ කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව බෙල් 212, සහ බෙල් 412 හෙලිකොප්ටර් යානා දෙකක් කටුනායක සහ රත්මලාන ගුවන් හමුදා කඳවුරුවල ස්ථානගත කර තිබෙනවා. ගුවන් හමුදා විශේෂ රෙජිමේන්තු බළකාය ආපදා සහන කටයුතු වෙනුවෙන් යොදා තිබෙනවා. ඊට අමතරව ආපදා තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ නිරීක්ෂණ කටයුතු සිදු කිරීම ගුවන් හමුදාව මගින් සිදු කරනවායිද පැවසීය.