චීනයේ භාණ්ඩ වෙළෙඳාමේ ආනයන හා අපනයන වටිනාකමේ ඓතිහාසික වාර්තාවක්

2024 පළමු කාර්තු තුන තුළ චීනයේ භාණ්ඩ වෙළඳාමේ මුළු ආනයන හා අපනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 32.33 ක් වන අතර එය ඉතිහාසයේ සමාන කාලය තුළ යුවාන් ට්‍රිලියන 32 ඉක්ම වූ ප්‍රථම අවස්ථාවයි.

චීන රේගු පරිපාලනය නිකුත් කළ දත්තවලට අනුව, එම සංඛ්‍යාව ගිය වසරේ සමාන කාලයට සාපෙක්ෂව 5.3% ක වර්ධනයකි. චීන රේගු පරිපාලනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Wang Lingjun මහතා ඊයේ (14) පැවති චීන රාජ්‍ය මණ්ඩලයේ පුවත් කාර්යාලයේ මාධ්‍ය හමුවකදී අදාළ තොරතුරු විස්තර කළේය.

වර්තමාන‍යේ චීනයේ විදේශ වෙළඳ සංවර්ධනය යම් අභියෝගයන්ට මුහුණ දුන්නද, සැපයුම සහ ඉල්ලුම ප්‍රවර්ධනය කිරීමෙන් සමස්ත වශයෙන් රටේ ආනයන හා අපනයන ස්ථාවර වර්ධනයක් පවත්වා ගන්නා බව ඔහු පැවසීය. මෙම වසරේ මුල් කාර්තු තුන තුළ සෑම කාර්තුවේම ආනයන හා අපනයන පරිමාණය චීන යුවාන් ට්‍රිලියන 10 ඉක්මවූ අතර, එය ද ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව බව Wang Lingjun මහතා පෙන්වා දුන්නේය.

2024 පළමු කාර්තු තුන තුළ, චීනයේ යාන්ත්‍රික සහ විදුලි නිෂ්පාදිතවල අපනයනය චීන යුවාන් ට්‍රිලියන 11.03ක් ලෙස වාර්තා වේ. එය 2023 වසරේ සමාන කාලයට වඩා 8%ක වැඩිවීමකි. රටේ සමස්ත අපනයනවලින් එය 60%කට ආසන්න ප්‍රමාණයකට දායක වී ඇති බව සඳහන් කෙරිණ.

එම කාලය තුළම, “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ පොදු සංවර්ධනයට එක්වන රටවල් සමග චීනයේ ආනයනය සහ අපනයනය යුවාන් ට්‍රිලියන 15.21 ක් වූ අතර, එය 6.3% ක වර්ධනයකි. එය රටේ සමස්ත ආනයන හා අපනයන නිපැයුම් අනුපාතය, 47.1% දක්වා වැඩි වී ඇති බව Wang Lingjun මහතා ප්‍රකාශ කළේය.