සබරගමුව පළාත් සුරාබදු ආදායම එක් රැස් කරන රාජ්‍ය ආයතනවල නිලධාරින් දැනුම්වත් කරයි

සබරගමුව පළාත් බලප්‍රදේශයේ සුරාබදු ආදායම එක් රැස් කර ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය ආයතනවල නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට පළාත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේය.

ඒ අනුව සබරගමුව පළාතේ සුරා බදු ආදායම රැස් කිරීම සම්බන්ධයෙන් පළාතේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය භාර නිලධාරීන් පළමුව දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා (11) සබරගමු පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ රාජගිරිය ප්‍රධාන කාර්යාලයේ සුරාබදු කොමසාරිස්, ආදායම්, නීති භාර නීතිඥ චන්න වීරක්කොඩි මහතා සහ සබරගමු පළාත් භාර සුරාබදු කොමසාරිස්වරුන් මේ වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය ලබා දුන්නේය.

පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නන්දනී ගුණවර්ධන මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය මේ වැඩමුළුව සංවිධාන කර තිබුණි. සුරාබදු ආදායම රැස් කිරීම සම්බන්ධයෙන් අදාළ විෂය භාර නිලධාරීන්ගේ ගැටලු මෙහිදී සාකච්ඡා කළ අතර එම ගැටලු සඳහා විසඳුම් ලබාදීමද මෙහිදී සිදු විය.

පළාතට අය විය යුතු ආදායම වඩාත් නිවැරදි ලෙස එකතු කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී නිලධාරීන් දැනුම්වත් කෙරිණි.