මෙරට ජෛව සම්පත් මංකොල්ල කෑ රුසියානු ජාතිකයන්ට කෝටි 11 ක දඩයක්

සිංහරාජ ලෝක උරුම වනාන්තරයේ සහ හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුල් වි මෙරටට ආවේනික වු ජෛව සම්පත් එක්රැස් කරමින් සිටියදි අත්අඩංගුවට ගත් රුසියානු ජාතිකයන් දෙදෙනා (15) දින ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා සැකකරුවන් දෙදෙනාට රු එකලොස් කොටි හැට අට ලක්ෂ දස දහසක දඩ මුදලක් ගෙවන ලෙස ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් දිළුම් ප්‍රනාන්දු මහතා නියෝග කලේය.

මෙසේ දඩ මුදල් ගෙවන ලෙසට නියම කරනු ලැබුවේ රුසියාවේ මොස්කව් නුවර පදිංචි සැවෙලි ඇලෙක්සැන්ඩ්‍රොවිච් (18) සහ නිකොලයි ඊල්යිච් (21) යන අයටයි.

සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලිමක් කරමින් කියා සිටියේ එම දඩ මුදල කොටස් වශයෙන් ගෙවිමට නියෝගයක් ලබාදෙන ලෙසත්, (15) දින එම දඩ මුදලෙන් ලක්ෂ පහලෝවක මුදලක් අධිකරණය වෙත ගෙවන බවයි.

එම ඉල්ලිමට වනජිවි නිලධාරින්ගේ විරෝධයක් මතු නොවු නිසා දෙපාර්ශව පිලිබදව කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා  යලිත් මෙම නඩුව ලබන මස (26) දින කැදවිමට නියෝග කල අතර, දඩ මුදල සම්පුර්ණයෙන්ම ගෙවා අවසන් කරන තෙක් සැකකරුවන් දෙදෙනාගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය හමුවේ තවදුරටත් රදවා ගැනිමට නියෝග කෙරිණ.

සැකකරුවන් දෙදෙනා ඉකුත් අගොස්තු මස (28) දින එම රක්ෂිතයන් තුලට ඇතුල් වි ජෛව සම්පත් මංකොල්ලකමින් සිටින බවට ලද තොරතුරක් මත නුවරඑලිය හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ නියෝජ්‍ය භාරකරු ඩබ්ලිව්.එම්.එල්.කේ.වාසල, නුවරඑලිය ගැල්වෙස්ලැන්ඩ් ජාතික වන උද්‍යානයේ භාරකරු ප්‍රභාෂ් කරුණාතිලක යන මහතුන් ඇතුළු වනජිවි නිලධාරින් කණ්ඩායමක් සිංහරාජ ලෝක උරුම වන්නාන්තරය වෙත ගොස් වැටලිමක් සිදු කර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ෂණ සිදු කිරිමේදි සැකකරුවන් නවාතැන්ගෙන සිටි ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක කාමරයක සගවා තිබු ජෛව සම්පත් 230 ක් තම භාරයට ගත් බව එම වැටලිමට එක් වු හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ නියෝජ්‍ය භාරකරු ඩබ්ලිව්.එම්.එල්.කේ.වාසල මහතා පැවසිය.

එම චුදිතයන් දෙදෙනා මෙරටට ආවේනික දුම්බර අං කටුස්සා, පලා කටුස්සා, ඇහැටුල්ලා, කණාමැදිරියන්, ගොළුබෙල්ලන්, සිංහරාජ වනාන්තරයට ආවේනික රක්වාන ගෙම්බන් ඇතුළු ජෛව සම්පත් 230 ක් එක්රැස් කර තිබුණි.