මාකඳුරේ මධුෂ්ට වෙඩි තබා පලාගිය අපරාධකරුවන් අත්අඩංගුවට නොගැනීම ගැන පුළුල් විමර්ශනයක්

පාතාලයේ ප්‍රබල අපරාධකරුවකු වූ මාකඳුරේ මධූෂ් කොළඹ අපරාධ කොට්ඨාස අත්අඩංගුවේ සිටියදී වෙඩි තබා පලාගිය අපරාධකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වීමට පොලිස් බලධාරීන්ගේ අවධානය යොමුව ඇත.

ඩුබායි සිට 2019 වසරේදී මාකඳුරේ මධූෂ් මෙරටට රැගෙන ඒමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබීය. එකල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස මේ වන විට කටයුතු කරන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාය. අධ්‍යක්ෂ ලෙස සේවයේ නිරතව සිටියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාය.

මාකඳුරේ මධූෂ් රඳවාගෙන කළ ප්‍රශ්න කිරීම් හමුවේ මත්කුඩු ජාලයට සම්බන්ධ දේශපාලනඥයන් කිහිප දෙනෙකුගේ තොරතුරුද හෙළිවී තිබුණි. ඒ අනුව එකී දේශපාලනඥයන්ගෙන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය විමර්ශන පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එකල ආරම්භ කර තිබුණි.

ආණ්ඩු පෙරළියත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට සිටි අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට ස්ථාන මාරුවීමක් ලැබීමත්, රවී සෙනෙවිරත්න මහතාට විශ්‍රාම ගැනීමට සිදුවීමත් හේතුවෙන් මාකඳුරේ මධූෂ්ගෙන් හෙළිවූ දේශපාලනඥයන්ට සම්බන්ධකම් ඇති මත්කුඩු ජාලය ගැන විමර්ශන ඇනහිට තිබී ඇත. මාකඳුරේ මධූෂ්ගේ ඝාතනයත් සමඟ ඒ හැම දෙයක්ම වැළලී ගොස් ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

මාකඳුරේ මධූෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ තබාගෙන සිටියදී හිටි හැටියේම ඉහළින් ලද නියෝගයකින් කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී තිබුණි. වසර එකහාමාරකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි මාකඳුරේ මධූෂ්ගෙන් සොයා ගන්නට බැරිවූ මත්කුඩු කිලෝ 11ක් කොටිකාවත්තෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සොයාගන්නේ කොළඹ අපරාධ කොට්ඨාස භාරයට ඔහු භාරවී පැය 24ක් යන්නට මත්තෙනි. අනතුරුව මාකඳුරේ මධූෂ්ව මාලිගාවත්තේ තට්ටු නිවාස සංකීර්ණයක් වෙත 2020 නොවැම්බර් මාසයේ දිනක මහා රෑක රැගෙන යන්නේ එම තට්ටු නිවාස සංකීර්ණයේ 10 වෙනි මහලේ ඇති නිවසක සඟවා ඇතැයි කී තවත් හෙරොයින් කිලෝ 22ක් සොයා ගන්නටය. එම තට්ටු නිවාස සංකීර්ණයට මධූෂ්ව මාංචු දමා රැගෙන යන්නේ මත්කුඩු සඟවා ඇති නිවස මධූෂ්ගේ සහයෙන් හඳුනා ගන්නටය.

මෙහි ඇති සුවිශේෂි කරුණ වන්නේ මෙම තට්ටු නිවාස සංකීර්ණය ගොඩ නඟන විට මාකඳුරේ මධූෂ් සිටින්නේ ඩුබායිවල බැවිනි. මේ තට්ටු නිවාස සංකීර්ණයට ඊට පෙර කිසිදු දිනක අඩියක් තබා නැති ඔහුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් රැගෙන යනු ලබන්නේ ඔහු මඟින් සඟවා ඇති මත්කුඩු තොගය සොයා ගන්නටය. ඒ යන්නේද හතරවටේ ආරක්ෂාවක් යොදාය. මධූෂ්ව මෙසේ මෙම ගොඩනැඟිල්ලට රැගෙන යන බව කොළඹ අපරාධ කොට්ඨාසයේ දෙතුන් දෙනෙක් හැරෙන්නට වෙන කිසිවෙකුත් දැන සිට නැත. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් එකල මාධ්‍යට කී ආකාරය අනුව මධූෂ්ව ගොඩනැඟිල්ලට රැගෙන යන විට පුද්ගලයෙක් ළඟටම ඇවිත් මධූෂ්ට වෙඩි තබා පලාගිය බවය.

දේශපාලනඥයන් රැසකගේ රහස් වැමෑරූ මාකඳුරේ මධූෂ්ගේ ඉරණම එසේ විසඳෙන විට මාකඳුරේ මධූෂ්ට අයත්ව ඇතැයි කී කිසිදු දේපළක් රජයට පවරා ගැනීමක් මේ කාලය තුළ සිදු නොවීය. අඩුම තරමින් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ඒ ගැන විමර්ශන පවරා ඒ තුළින් මධූෂ්ට ඇතැයි කී කෝටි ප්‍රකෝටි ගණනක දේපොළ සොයාගත්තේ ද නැත.

මධූෂ්ට අයත් බව කී එම දේපොළ ගැන යම් සොයා බැලීමක් කරමින් ඒවා මේ වන විට පරිහරණය කරනු ලබන්නේ කවුරුදැයි සොයා විමර්ශනයක් පැවැත්වීමටද පොලිස් බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව පොලිස් තොරතුරු වැඩිදුරටත් අනාවරණය කළේය.