නව වැනි පාර්ලිමේන්තුවේ විශේෂ අවස්ථා

නව වැනි පාර්ලිමේන්තුවේ, පාර්ලි‌මේන්තු කාලපරිච්ඡේදය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන, අනුප්‍රාප්තික ජනාධිපති ඡන්දයෙන් තෝරා පත්කර ගැනීම,විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීම්, යෝජනා සම්මතයන් මඟින් කොමිෂන් සභා සභාපතිවරයෙක් /සාමාජිකයෙක් ධුරයෙන් ඉවත් කිරීම සහ විනය ක්‍රියාමාර්ග මත මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු සේවා කාලය අත්හිටුවීම ඇතුළු සුවිශේෂී සිදුවීම් රැසක් සිදු විය.

නව වැනි පාර්ලිමේන්තුව ආරම්භ වූයේ, 2020 අගෝස්තු 20 වැනි දින මංගල රැස්වීම් දිනයේ සිට විසිරුවා හරිනු ලැබූ දිනය දක්වා වූ වසර හතරක් සහ මාස 1ක් සහ දින 4ක කාලයක් පැවැත්විණ. ඒ අනුව නව වැනි පාර්ලිමේන්තුව සභාවර 5ක් තුළ දින 390ක් රැස්වී ඇත.

2020 වසරේදී නව වැනි පාර්ලිමේන්තුවේ ආරම්භ වීමත් සමඟම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා එවකට අධිකරණ ඇමැති එම්.යු.එම්. අලි සබ්රි මහතා විසින් “විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන” පනත් කෙටුම්පත 2020 සැප්තැම්බර් මස 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.

ඔක්තෝබර් 21 සහ 22 දෙදින තුළ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයෙන් අනතුරුව විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කෙරිණි.

එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156 සහ විරුද්ධව ඡන්ද 65ක් ප්‍රකාශ කරන ලදී. කාරක සභා අවස්ථාවෙන් අනතුරුව පනත් කෙටුම්පතේ තුන්වැනි වර කියවීම ද විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කරන ලදී. එහිදී ඡන්ද විමසීමෙන් පක්ෂව 156 සහ විරුද්ධව 65ක් ලෙස ඡන්දය ප්‍රකශය කර පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය. අනතුරුව 2020 ඔක්තෝබර් 29 වැනිදා කථානායකවරයා පනත් කෙටුම්පතට සිය අත්සන යොදා සහතිකය සටහන් කිරීමෙන් පසු විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක විය.

එසේම, 2022 වර්ෂයේදී සිදුවූ අර්බුදකාරි තත්ත්වය මත ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ අටවැනි විධායක ජනාධිපති ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමැති මණ්ඩලයේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා “ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන” පනත් කෙටුම්පත 2022 අගෝස්තු 10 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

විශ්වාසභංග ඉදිරිපත් කිරීම් සහ යෝජනා සම්මතයන් මඟින් කොමිෂන් සභා සභාපතිවරුන්/සාමාජිකයන් ධුරයෙන් ඉවත් කිරීම් බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා කෙරෙහි විශ්වාසභංගත්වය පළ කිරීමේ යෝජනාව නව වැනි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද ප්‍රථම විශ්වාසභංග යෝජනාව විය. එම යෝජනාව පිළිබඳ විවාදය 2021 ජූලි මස 19 සහ 20 දෙදින පවත්වන ලදී. එහිදී පැවැති ඡන්ද විමසීමෙන් යෝජනාවට පක්ෂව ඡන්ද 61ක් සහ විරුද්ධව ඡන්ද 152ක් ලැබීමෙන් එම යෝජනාව පරාජයට පත් විය.

2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ විධිවිධාන ප්‍රකාරව එම කොමිෂන් සභාවේ එවකට සභාපතිත්වය සහ සාමාජිකත්වය දැරූ ජේ.ඩබ්.එම්.ජේ.පී.කේ. රත්නායක මහතා එහි සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව ද නවවැනි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

එමෙන්ම සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාස භංගත්වය ප්‍රකාශ කිරීමේ යෝජනාවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 45 දෙනෙකුගේ අත්සනින් යුතුව ඉදිරිපත් කෙරිණ.

එමෙන්ම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය මාර්තු 19, 20 සහ 21 යන දිනවලදි පැවැත්විණ.

රටේ ඇතිවූ දේශපාලන අර්බුදය හමුවේ හිටපු ජනාධිපතිගෝඨාභය රාජපක්ෂ මහතා 2022 ජූලි මස 14 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ අතර ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව පුරප්පාඩු වූ ජනාධිපති තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් අයෙකු තෝරාපත් කර ගැනීම සිදු විය. එතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපති ලෙස කටයුතු කළේය.

මේ අනුව පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයෙක් තෝරාගැනීම සඳහා වූ ඡන්ද විමසීම 2022 ජූලි 20 වැනිදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වූ අතර, එහිදී වැඩි ඡන්දයෙන් වැඩබලන ජනාධිපති සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.

2023 අගෝස්තු 23 වැනිදා පාර්ලිමේන්තු වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලට අදාළ අතුරු ප්‍රශ්න ඇසීමේදී ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර ජයමහ සහ වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරුන් මූලාසනය අසලට පැමිණ ඝෝෂා කිරීම් හේතුවෙන් එම දෙදෙනා සභාවෙන් ඉවත් කිරීමට ද එක් අවස්ථාවකදී කථානායකවරයා කටයුතු කළේය. එමෙන්ම එවන් ආකාරයටම පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ පාර්ලිමේන්තු සේවා කාලය සති හතරකට අත්හිටුවීමට කථානායකවරයා පියවර ගත්තේය.

එමෙන්ම පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. සුජිත් සංජය පෙරේරා මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා යන මන්ත්‍රීවරුන් අතර සිදුවූවා යැයි කියන සිද්ධියක් හේතුවෙන් එම මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු සේවය 2023 දෙසැම්බර් 02 වැනිදා සිට මාසයක කාලයක් සඳහා අත්හිටුවීමට පාර්ලිමේන්තුවේ යෝජනාවක් මඟින් කටයුතු කෙරිණ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා විසින් කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ප්‍රභූ පර්යන්තය හරහා නීති විරෝධී ලෙස රුපියල් මිලියන 70 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං සහ ස්මාර්ට් ජංගම දුරකතන ශ්‍රී ලංකාව තුළට රැගෙන ඒමට කටයුතු කිරීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ නිර්දේශ අනුව එම මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සේවා කාලය මසක කාලයක් සඳහා අත්හිටුවීම සිදු විය.