ඊශ්‍රායල හමුදා කඳවුරකට හෙස්බුල්ලා ඩ්‍රෝන ප්‍රහාරයක්

උතුරු ඊශ්‍රායලයේ හමුදා කඳවුරකට හෙස්බුල්ලා සංවිධානයෙන් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඊශ්‍ර­ායල හමුදා සෙබළුන් සිවුදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තවත් සෙබළුන් 60කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ. වසරක කාලයක් තුළ දෙපාර්ශ්වය අතර ගැටුම් ආරම්භ වීමෙන් හෙස්බුල්ලා සංවිධානයෙන් ඊශ්‍රායලයට එල්ලවූ දරුණුතම ප්‍රහාරය මෙය බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඩ්‍රෝන ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි හර්සි හැලෙවි ජීවිතක්ෂයට පත්වූ බවට සමාජ මාධ්‍යජාලා අතර පුවත් සංසරණය වුවද, ප්‍රහාරයෙන් පසු වීඩියෝ පටයක පෙනී සිටීමෙන් එම පුවත සාවද්‍ය බව තහවුරු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඊශ්‍රායලයේ ටෙල් අවීව් සහ හයිෆා නගර අතර පිහිටි ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කළ බවත්, එය දකුණු ලෙබනනයේ ඊශ්‍රායල ප්‍රහාරයට ප්‍රතිචාර

දැක්වීමක් බවත් එම ප්‍රහාරයෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් හෙස්බුල්ලා සංවිධානය ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.