කාන්තා ක්‍රිකට් දියුණු වෙමින් තිබියදී ශ්‍රී ලංකා පිලේ ඩුබායි පරාජය ප්‍රශ්නයක්

වසර දෙකක කාලයක සිට ක්‍රම ක්‍රමයෙන් දියුණවට පත්වෙමින් පැමිණි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලෝක කුසලානයේදී පරාජය වීම පිළිබඳ කනගාටුවට පත්වන බවත්, එය ගැටලුකාරී තත්ත්වයක් බවත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පැවැසුවාය. ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මූලික වටයෙන් ඉවතට යෑම කිසිවකුත් අපේක්ෂා නොකළ ප්‍රතිඵලයක් බව ඇය පෙන්වා දුන්නාය. එහෙත් දැන් කළ යුතුව ඇත්තේ සිදුවූ සියලු වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යෑම බව ද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකාවගේ අදහස විය.

ඩුබායි හා සාජා ක්‍රීඩාංගණවලදී තරග කළ ශ්‍රී ලංකා පිල ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට ගිය පළමු කණ්ඩායම වූ අතර, ඒ සමඟම ඔවුන් යළි ශ්‍රී ලංකාවට පිටත් කිරීමට අයිසීසිය පියවර ගත්තේය. එයට හේතු වූයේ ලෝක කුසලාන තරග රටාව අනුව පරාජිත කණ්ඩායම් වහාම අදාළ රටට යැවීම තරගාවලියේ නීති රීති අතර වන බැවිණි.

“ඇත්තටම අපේ ක්‍රිකට් පසුගිය අවුරුදු දෙකේදී විශාල දියුණුවක් ලැබුවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කාන්තා ක්‍රිකට් දියුණුවට විශාල අවධානයක් යොමු කිරීම එයට ප්‍රධාන හේතුවක්. පිරිමි ක්‍රිකට් වගේම අපේ දේශීය කාන්තා තරග රටාවත් ගොඩක් ශක්තිමත් වුණා. ඒ වගේම ක්‍රීඩිකාවන් කොන්ත්‍රාත් ගිවිසුම්වලට ඇතුළත් කොට ඔවුන් වෘත්තීය මට්ටමට ගෙන ආවා. ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩපිළිවෙළ යටතේ බාලිකා කණ්ඩායම් අතර දැන් පාසල් ක්‍රිකට් මහා තරග ආරම්භ වී තිබෙනවා. ඒක ඉදිරි අනාගතයට වැදගත් අංශයක්. එන්එස්එල් කාන්තා ක්‍රීඩා සමාජ අතර තරග, සුපිරි කාන්තා කණ්ඩායම් හතරේ තරගාවලිය විශාල අත්දැකීමක් වුණා. මේ නිසාම දැන් අපිට 19න් පහළ හොඳ නැගී එන කණ්ඩායමක් සිටිනවා. මේ අය ආරක්ෂා කරගෙන කාන්තා ක්‍රිකට් ඉදිරියට ගොඩනැගීය හැකියි“ චමරි පැවැසුවාය.

“ආසියානු කුසලානයේදී වගේම තරග සංචාර කිහිපයකදීම අපි හොඳ ක්‍රිකට් ක්‍රීඩාවක් කළා. යොවුන් ක්‍රීඩිකාවන් කිහිප දෙනකුම එයින් ඉදිරියට ආවා. එංගලන්තයේදී එංගලන්ත පිල පරාජය කළා. අබුඩාබි හි ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී අපි අපරාජිතව ඉදිරියට ආවා. ඒ වුණත් එම තරගවලදී ලැබූ අත්දැකීම් ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රයෝජනයට ගැනීමට නොහැකිවීම පිළිබඳ කනගාටු වෙනවා“ චමරි පැවැසූවාය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා වාර්තා අනුව පිතිකාරිනියක් ලැබූ වැඩිම ලකුණු ගණන තරග 4කදී ලකුණු 46ක් ලෙස අනුෂ්කා සංජීවනී වාර්තා කළ අතර, චමරිගේ මුළු ලකුණු එකතුව 45ක් විය. කවීෂා දිල්හාරි තරග 4කදී ලකුණු 39ක්, අමා කාංචනා තරග 2කදී ලකුණු 29ක් හා විශ්මි ගුණරත්න තරග 4කදී ලකුණු 28ක් ලෙස ලැබූහ.