ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂයට මහලේකම් කෙනෙක් තෝරන සාකච්ඡා 4ක්ම බිඳවැටෙයි

ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂය ( ITAK ) සඳහා මහ ලේකම්වරයකු තෝරා ගැනීම පිණිස පැවැති සාකච්ඡා හතරක්ම විවිධ මතභේද නිසා කඩා වැටීම නිසා 13 වැනිදා පැවැති පස්වෙනි සාකච්ඡාවේදීද පක්ෂයට මහ ලේකම්වරයකු පත් කර ගැනීමට නොහැකි වී තිබේ.
මහ ලේකම්වරයකු පත් කර ගැනීම පිණිස පස්වෙනි වරටත් වවුනියාවේදී සකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡාවේදීද ස්ථිර තීරණයකට එළඹීමට නොහැකි අන්දමට පක්ෂයේ පිරිස අතර මතභේද හටගෙන තිබේ. දැනට පක්ෂයේ වැඩ බලන මහ ලේකම්වරයා වශයෙන් වෛද්‍ය පී. සත්‍යලිංගම් මහතා කටයුතු කරන අතර ඔහු මේ දිනවල රෝගීව සිටීම නිසා පක්ෂයේ කටයුතු සිදු කරගෙන යාමට මහ ලේකම්වරයකු නැති තත්ත්වයක් උද්ගත වී තිබේ.
අසනීපව සිටින සත්‍යලිංගම් වෛද්‍යවරයා තමන් සාකච්ඡාවට සහභාගී නොවූවත් පක්ෂයට මහ ලේකම්වරයකු පත් කර ගන්නා මෙන් ඉල්ලීමක් කළද පක්ෂයේ සාකච්ඡා මැද ඇතිව තිබෙන විවිධ මතවාද නිසා පක්ෂයට මහ ලේකම්වරයකු පත් කර ගැනීමට නොහැකි වී තිබේ.
ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ නායක එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරණ සමයේ සිටම ජනාධිපති අපේක්ෂක බී. අරියනේත්‍රම් මහතාට පූර්ණ සහය පළ කිරීමත් සමඟ සුමන්තිරන් මන්ත්‍රීවරයා ඇතුළුව පක්ෂයේ කීප දෙනෙකුම ඔහුට එරෙහිව කටයුතු කරන්න පටන් ගැනීම නිසා පක්ෂයේ විශාල අර්බුදයක් නිර්මාණය විය.
ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂය වෙනුවෙන් සුමන්තිරන් මන්ත්‍රීවරයා පෙරමුණ ගන්නා ලද නමුත් එම පක්ෂයේ නායක එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා එම යෝජනාවට අකැමැති වී ඔහු අරියනේත්‍රම් මහතාටම සහාය දැක්වීමට තීරණය කළේය.
මහ මැතිවරණය සඳහා ද හක්ගෙඩිය යටතේ අපේක්ෂකයන් ඉදිරිපත් වී සිටන අතර එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා මෙවර මහ මැතිවරණයේදී ද හක්ගෙඩිය ජයග්‍රහණය කරවීමට කැපවීමෙන් කටයුතු කිරීමට පටන් ගෙන තිබේ. එවැනි පරිසරයක් මත ශ්‍රීධරන් මන්ත්‍රීවරයා සාකච්ඡාවලට පැමිණීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ හිටපු නායක මාවෙයි සේනාධිරාජා මහතා සමඟ සාකච්ඡා කොට පක්ෂයට නව මහ ලේකම්වරයකු පත් කර ගැනීමට උත්සාහ කළත් මාවෙයි සේනාධිරාජා මහතා ද එම සාකච්ඡාවලින් ඉවත් වී නිදහසේ සිටීමට ගත් තීරණයක් හේතුවෙන් පක්ෂයට නව මහ ලේකම්වරයකු පත් කර ගැනීමට නොහැකි වී තිබේ.
මේ දේශපාලන වටපිටාව සකස් වූයේ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාගේ ඒකමතික හා අත්තනෝමතික තීරණ නිසා බව කියමින් පක්ෂයේ විශාල පිරිසක් මේ දිනවල සුමන්තිරන් මන්ත්‍රීවරයා විවේචනය කරමින් කටයුතු කිරීමට පටන් ගෙන තිබේ.