රජය සිදුකරන දූෂණ විරෝධය විනිවිදභාවයෙන් යුක්තයි-ශ්‍රී ලංකා ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස්

ඉන්දියානු නියෝජ්‍ය මහා කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ මහතා හා ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා මුණගැසුණු අයුරු

වර්තමාන රජය විසින් දූෂණ විරෝධී හා විනිවිද භාවයෙන් කරගෙන යනු ලබන පාලනය පිළිබඳ ඉන්දීය රජය ඉතා විශ්වාසයකින් සිටින බව ශ්‍රී ලංකා ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ මහතා පැවසීය .

නැඟෙනහිර නව ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී මුණගැසී නියෝජ්‍ය ඉන්දියානු මහ කොමසාරිස්වරයා මෙම කරුණු අවධාරණය කළේය.

මෙම හමුවේදී නව ආණ්ඩුකාර ධුරයට පත්වීම සම්බන්ධයෙන් මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතාට මුලින්ම සුබ පැතුම් එක් කළ නියෝජ්‍ය මහා කොමසාරිස්වරයා නැඟෙනහිර පළාතේ සංවර්ධනය සඳහා ඉන්දීය රජයේ උපරිම සහාය ලබාදීමට පොරොන්දු වන බව ද මෙහිදී පැවසීය. විශේෂයෙන් අධ්‍යාපන, ධීවර, කෘෂිකාර්මික හා සංචාරක යන ක්ෂේත්‍රයන්හි සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා රජය සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා මෙහිදී අවධාරණය කළේය . නැඟෙනහිර පළාතේ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ඉන්දියානු රජය දක්වන සහය පිළිබඳව මෙහිදී ආණ්ඩුකාරවරයා සිය ස්තුතිය පළ කළේය.