අධික වැස්සෙන් පීඩාවට පත් පුද්ගලයින් ගණන ලක්ෂය ඉක්මවයි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් ගණන ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

දිස්ත්‍රික්ක 12ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 69ක පුද්ගලයින් මෙලෙස අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇත.

ඒ අනුව පවුල් 34,492කට අයත් පුද්ගලයින් 134,484 දෙනෙකු පීඩාවට පත් ව ඇති බව වාර්තා වේ.

ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්වේ.

ආපදා කළමනාකරණ වාර්තා අනුව අයහපත් කාළගුණය හේතුවෙන් නිවාස 240කට අර්ධ හානි සිදුවී ඇති අතර එක් නිවසක් සම්පුර්ණයෙන් ම විනාශ වී තිබේ.

පවුල් 1753කට අයත් පුද්ගලයින් 6963 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථාන 81ක රැදී සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර දිස්ත්‍රික්ක 06ක් සඳහා නායයෑම් පිළිබඳව පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති අතර කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇගවීමේ නිවේදනය නිකුත්කර ඇත.