ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ හිස් අතින් ගෙදර එති-අපේ අයට බලාපොරොත්තු දරාගන්න බැරි වුණා – පුහුණුකරු රුමේෂ්

කාන්තා ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ සියලු තරග පරාජයට පත්වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණෙයි. සති කිහිපයකට පෙර ආසියානු කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මහත් බලාපොරොත්තු ඇතිව ඩුබායි වෙත පැමිණියද පිතිකරණයේ හා පන්දු රැකීමේ දුර්වලතා හේතුවෙන් විශාල ලෙස පසුබෑමකට ලක්වූහ. කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසයේ සියලු තරග පරාජයට පත්වූ පළමු අවස්ථාව මෙය ලෙස සටහන්වීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පෙරේදා සාජා ක්‍රීඩාංගණයේ පැවති මූලික වටයේ අවසන් තරගයෙන් ද ශ්‍රී ලංකා පිල කඩුලු 8ක පරාජයක් ලැබූ අතර, එයට පෙර පාකිස්තානය හමුවේ ලකුණු 31කින්, ඔස්ට්‍රේලියාව හමුවේ කඩුලු 6කින් හා ඉන්දියාවට ලකුණු 82කින් පරාජය විය.

නවසීලන්තයට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඕවර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 115ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත ක්‍රීඩිකාවෝ පන්දු 15ක් ඉතිරිව තිබියදී කඩුලු 2ක් දැවී ලකුණු 118ක් ලබා ජය තහවුරු කර ගත්හ.

නවසීලන්ත ඉනිමට ජීවයක් ගෙනදුන් ජෝජියා පිල්මියර් පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟ ලකුණු 54ක් ලබා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගත් අතර, අමෙලියා කර් පන්දු 31කදී හතරේ පහර 3ක් සමඟ නොදැවී ලකුණු 34ක් ලබා ගත්තාය.

ශ්‍රී ලංකා ඉනිම විශ්මි ගුණරත්න සහ නායිකා චමරි අතපත්තු ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 26ක සබඳතාවක් එක් කළ අතර, විශ්මි ගුණරත්න ලකුණු 8ක් ලබා සිටියදී දැවී ගියාය. චමරි අතපත්තු සහ හර්ෂිතා සමරවික්‍රම 2 වැනි කඩුල්ලට ලකුණු 48ක සබඳතාවක් ගොඩනැඟූ අතර, චමරි අතපත්තු පන්දු 41කදී හතරේ පහර 5ක් සමඟ ලකුණු 35ක් ලබා මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිතිකාරිණියක ලැබූ ඉහළම ලකුණු ගණන සටහන් කළාය. හර්ෂිතා ක්‍රීඩාගාරයට යද්දී පන්දු 29කට මුහුණ දී හතරේ පහරක් සමඟ ලකුණු 18ක් ලබා සිටි අතර, නිලක්ෂිකා සිල්වා පන්දු 11කට මුහුණදී හතරේ පහරක් සමඟ නොදැවී ලකුණු 14ක් හා අමා කාංචනා පන්දු 9කදී හතරේ පහරක් සමඟ නොදැවී ලකුණු 10ක් ලබා ගත්හ.

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කාන්තා ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ආසියානු කුසලානයේදී ඇති කරගත් බලාපොරොත්තු දරා ගැනීමට නොහැකිවීම මේ පරාජයට හේතු බවයි.

“මෙවර තරගාවලියේ ශක්තිමත් කණ්ඩායම අපියි. නමුත් එකම තරගයක්වත් දිනා ගන්න බැරිවුණ ලෝක කුසලානය අපි පසු කළේ. අපේ ක්‍රීඩිකාවන්ට විශාල බලාපොරොත්තු තිබුණා. ඒක හොඳ දෙයක් ලෙස පෙනුණත් එය ක්‍රීඩිකාවන්ට දරා ගන්න බැරි වුණා. ලෝකයේ හොඳම කණ්ඩායම් පරාජය කරන්න අපට පුළුවන් කියන බලාපොරොත්තුව හැම දෙනාගේම හිත්වල ඇතිව තිබුණා. මේ තරගාවලියේදී සියලු අංශ දුර්වලයි. ඒ වැරදි හදාගත යුතුයි. අපි දැන් චමරිගෙන් යැපෙන තත්ත්වය නැති කර ගත යුතුයි” රත්නායක මහතා පැවසීය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල කඩුලු 5ක් දැවී ලකුණු 115 (ඕවර 20) චමරි අතපත්තු 35, හර්ෂිතා සමරවික්‍රම 18, කවීෂා දිල්හාරි 10, නිලක්ෂි ද සිල්වා නොදැවී 14, අමා කාංචනා නොදැවී 10, අතිරේක 15 (ලෙගී කැස්පර්ස්ක් 27/2, අමෙලියා කර් 13/2, එඩන් කාර්සන් 19/1)

නවසීලන්ත කාන්තා ක්‍රිකට් පිල කඩුලු 2ක් දැවී ලකුණු 118 (ඕවර 17.3) සුසී බේට්ස් 17, ජෝජියා පිල්මියර් 53, අමෙලියා කර් නොදැවී 34, සොපියා දෙවිනි නොදැවි 13, අතිරේක 1 (චමරි අතපත්තු 8/1, සචිනි නිසංසලා 24/1)