වරකාපොළින් ඇල්ලුවේ වසන්න සේනානායක පාවිච්චි කළ කැබ් රියක්

වරකාපොළ – අඟුරුවැල්ල මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී පසුගිය 10 වැනිදා ගලපිටමඩදී පොලිස් භාරයට ගත් සමගි ජන බලවේගය පක්ෂයේ දැදිගම ආසන සංවිධායක වසන්ත සේනානායක මහතාගේ දේශපාලන කටයුතු සඳහා යොදවා තිබුණු මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ඩබල් කැබ් රථය කොන්ත්‍රාත් ව්‍යාපාරිකයකු විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ වෙන්දේසියකින් පසුගිය ජූලි 26 වැනිදා මිලදීගත් වාහන 07කින් එකක් බව පොලිස් විමර්ශනවලින් තහවුරු වී තිබේ. එම ව්‍යාපාරිකයා විසින් අදාළ ලේඛන පොලිසියට ඉදිරිපත් කර ඇති අතර pc 4755 අංකය දරන ford ranger වර්ගයේ මෙම කැබ් රථය ඔහු විසින් මිලදී ගෙන ඇතැයි ලේඛනවලින් පෙනී යන්නේ රුපියල් 4,116,500ක මුදලකටය. මෙහි රුපියල් 627,940.68ක වැට් බදු ද එකතු වී තිබේ. මෙම වාහනය සමඟ ට්‍රැක්ටර් ඇතුළු තවත් වාහන මිලදී ගැනීමක් සිදුකර ඇති අතර විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ මෙම ව්‍යාපාරිකයා සතුව වාහන 200කට ආසන්න ප්‍රමාණයක් ඇති බවය.

වසන්ත සේනානායක මහතාගේ දේශපාලන කටයුතු සඳහා භාවිත කිරීමට මෙම ව්‍යාපාරිකයා විසින් කැබ් රථය ලබාදී ඇත්තේ මිලදී ගැනීමෙන් අනතුරුව එය තමන් වෙත පවරා ගැනීමක් සිදු නොකර බවත් මිලදීගත් දින සිට පොලිස් භාරයට ගන්නා තෙක්ම වාහනය තිබී ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂගේ නමට ලියාපදිංචි වී බවත් පොලිසිය සඳහන් කරයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ තනතුරු නාමයෙන් මෙම වාහනය ලියාපදිංචි කර ඇත්තේ 2011 වර්ෂයේ දී බව ද පොලිසියට පෙනී ගොස් ඇත.

හොඳ ධාවන තත්ත්වයක පැවති මෙම වාහනය ඇතුළු වාහන රැසක් මාර්ග සංවර්ධන අධිකාරිය එදින වෙන්දේසිකර ඇති බවත් ඒ සෑම වාහනයක්ම වෙ‍ෙළඳ පොළ වටිනාකමට වඩා සැලකියයුතු ප්‍රමාණයකින් මිල අඩුවට වෙන්දේසිකර ඇති බව පෙනී යන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. ඒ සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන දැනුම්වත් කිරීමට පියවර ගන්නා බවත් පොලිස් භාරයට ගත් මෙම වාහනය මිලදී ගැනීම නීත්‍යනුකූලව සිදුවී ඇති බවත් එම නිලධාරියා කීය. එහෙත් වාහනය මිලදී ගැනීමෙන් අනතුරුව තමන් වෙත පවරා ගැනීමේ නීත්‍යනුකූල ලියවිලි කටයුතු සිදුකර නොමැති බවත් මෙතෙක් පොලිසියට ඉදිරිපත් වී ඇත්තේ වාහනය මිලදීගත් ව්‍යාපාරිකයා විසින් ඉදිරිපත් කළ ලියවිලි සහ තොරතුරු පමණක් බවත් පොලිසිය කියයි. එබැවින් අද (14) දිනයේ මාර්ග සංවර්ධන අධිකාරියෙන් මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට කටයුතු කරන බවද පොලිසිය කියයි.

වරකපොළ අඟුරුවැල්ල මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී මෙම කැබ් රථය ගලපිටමඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කළ ක්ෂණික මාර්ග බාධක පොලිස් මෙහෙයුමකදී පසුගිය 10 වැනිදා පරීක්ෂා කළ අවස්ථාවේදී රියැදුරු සතුව බලපත්‍රයක් නොමැතිකමින් වාහනය සම්බන්ධයෙන් කළ පරීක්ෂාවේදී මෙය මාර්ග සංවර්ධන අධිකාරියට අයත් එකක් බව තහවුරුවී තිබිණි. මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ තිබුණු තොරතුරුවලට අනුව වාහනය ඒ වන විටත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් එකක් වූ බැවින් ඒ ගැන විමර්ශනයක් ආරම්භ කෙරුණු බව පොලිසිය සඳහන් කළේය.

මෙම වාහනය වසන්ත සේනානායක මහතාගේ වරකපොළ පිහිටි පක්ෂ කාර්යාලයේ කටයුතු සඳහා ධාවනය කරන එකක් බව පොලිසියට පවසා ඇත්තේ දුම්මලදෙණිය වරකාපොළ පදිංචිකරුවෙක් වන තිස්නව හැවිරිදි සමීර ලක්මාල් නමැති රියැදුරාය.

මෙම රථයේ ඒ වන විට ලියාපදිංචි තොරතුරු ද තිබී නැති අතර එහි ඉදිරිපස වාමුවේ(වීදුරුවේ) අලවා තිබූ ආදායම් බලපත්‍රය පොලිස් නිලධාරීන් පරීක්ෂා කිරීමේදී එය මාර්ග සංවර්ධන අධිකාරියේ රථයක් බව හඳුනාගෙන තිබේ.

මේ බව ක්ෂණික මාර්ග බාධක සෝදිසි රාජකාරියේ සිටි නිලධාරීන් ගලපිට මඩ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම්වත් කිරීමට කටයුතු කර ඇත. එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා එම නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ රියදුරු සමඟ කැබ් රථය පොලිස් ස්ථානයට රැගෙන එන ලෙසය. ඒ අනුව කැබ්රථය පොලිස් ස්ථානයට රැගෙන ඒමෙන් පසු පොලිස් ස්ථානාධිපතිවරයා රියදුරුගේ ජාතික හැඳුනුම්පත රැගෙන පරීක්ෂා කිරීමේදී ඔහුගේ නමේ වාසගම ඔහුගේ මතකයේ රැඳී තිබී ඇත. ඒ ගැන පොලිස් ස්ථානාධිපතිවරයා විශේෂ අවධානයක් යොමු කරමින් කළ සොයා බැලීමකදී අනාවරණය වන්නේ දුනුමාලේ සරත් නමැති අයගේ ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ වාසගමක් හා මෙම සැකකරුගේ වාසගම අතර සම්බන්ධයක් ඇති බවය.

දුනුමාලේ සරත්ගේ ඝාතනය මාකිලංගමුවේ සංජීව නමැති පාතාල අපරාධකරුගේ කොන්ත්‍රාත්තුවකට අනුව සිදුකරනු ලබන්නේ පසුගිය වසරේ ජූලි 14 දින ගලපිටමඩ ප්‍රදේශයේදීය. කැබ් රථයකින් ගමන් කරමින් සිටි ඔහුට යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබිණි. එම ඝාතනයේ යතුරුපැදිකරු ලෙස කටයුතු කර ඇත්තේ මෙම කැබ්රථ

යේ රියදුරුගේ සහෝදරයාය. මෙම තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු පොලිස් ස්ථානාධිපතිවරයා මෙම රියැදුරාගේ මුදල් පසුම්බිය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී ඔහුගේ සහෝදරයා වන දුනුමාලේ සරත්ගේ ජාතික හැඳුනුම්පත ද තිබී ඇත.

රියදුරාගේ ජාතික හැඳුනුම්පත පොලිසියේ දත්ත පද්ධතියට ඇතුළත් කර පරීක්ෂා කිරීමේදී අනාවරණය වන්නේ ජූලි 19 දින බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් ඔහුව නුවරඑළිය පොලිසියට කොටුවීමෙන් අනතුරුව අධිකරණය විසින් මාස තුනක කාලයකට රියදුරු බලපත්‍රය අත්හිටුවා ඇති බවය. ඒ අනුව මෙම රියදුරා කැබ් රථය පදවා ඇත්තේ රියදුරු බලපත්‍රය අධිකරණය විසින් අත්හිටුවා තිබියදී බව පොලිසියට පෙනී ගොස් ඇත.

දීර්ඝ ලෙස පොලිසිය රියැදුරාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ වසන්ත සේනානායක මහතාගේ කාර්යාලයේ වැඩ කරන සේවකයින් කිහිප දෙනෙකු ඔවුන්ගේ නිවෙස්වලටත් අඟුරුවැල්ලේ ඇති කොරියන් භාෂා පුහුණු පාඨමාලාවක් පැවැත්වෙන ස්ථානයකටත් ඇරලවීමට ගොස් නැවත කාර්යාලයට යමින් සිටියදී පොලිස් පරීක්ෂාවට ලක් වූ බවය.

මෙම කැබ් රථය ඉකුත් ජනාධිපතිවරණ සමයේදී ද මැතිවරණ කටයුතු සඳහා තමා පැදවූ බවද රියදුරා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.

සිය කාර්යාලයේ සේවයේ නිරත රියැදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව දැනගත් වසන්ත සේනානායක මහතා ද පොලිසියට දුරකථන ඇමතුමක් දෙමින් තොරතුරු විමසා ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය. තත්ත්වය පැහැදිලි කර දීමෙන් අනතුරුව ඔහු පොලිසියට පවසා ඇත්තේ පොලිසියේ රාජකාරිවලට තමා බාධා නොකරන බවය.

මෙම කැබ් රථය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයේදී හෙළිවී ඇත්තේ මෙම රථය මාර්ග සංවර්ධන අධිකාරියෙන් කොන්ත්‍රාත් ව්‍යාපාරිකයා මිලදී ගත්තක් බව වසන්ත සේනානායක මහතා නොදැන සිට ඇති බවය.

කැබ් රථය ධාවනය කරමින් සිටියදී අත්අඩංගුවටගත් රියදුරු වසන්ත සේනානායක මහතාගේ කාර්යාලයේ ස්ථීර රියැදුරෙක් නොවන බවත් කාර්යාලයේ ගැවසෙමින් විවිධ සේවාවන් ඉටුකරන සාමාන්‍ය අයෙක් පමණක් බවද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. මෙම පුද්ගලයා වසන්ත සේනානායක මහතාගේ කාර්යාලයට සම්බන්ධ වී ඇත්තේ යැයි අනාවරණය වී ඇත්තේ ලේකම්වරයකු මගින් බවත් මෙදින ස්ථීර රියැදුරන් නොසිටි බැවින් මෙම පුද්ගලයාට වාහනයේ යතුරු ලබාදෙමින් අඟුරුවැල්ලට ඔහුව පිටත්කර යවා ඇත්තේ ලේකම්වරයා බවටත් විමර්ශනවලින් තොරතුරු අනාවරණය වී තිබේ.

කැබ් රථය සම්බන්ධයෙන් පොලිසිය කළ සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ මීරිගම ප්‍රදේශයේ පිහිටි යම් කොන්ත්‍රාත් සමාගමක් විසින් රථය ඉකුත් ජනාධිපතිවරණ සමයේදී වසන්ත සේනානායක මහතාගේ කාර්යාලයේ කටයුතු සඳහා ලබාදී ඇති එකක් බවය.

ඒ සම්බන්ධයෙන් අදාළ සමාගමේ ප්‍රධානියෙක් පොලිසියට දුරකථන ඇමතුමක් දෙමින් සඳහන් කර ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් එම රථය තමන් මිලදීගත් එකක් බවත් එය මිලදී ගෙන වැඩි කාලයක් නොමැති බවත්ය. රථය තමන්ගේ නමට ලියාපදිංචිය වෙනස් කිරීමට ප්‍රමාද වූ බවද ඔහු පොලිසියට පවසා තිබේ.

රියදුරු බලපත්‍රය අධිකරණයෙන් තහනම් කර තිබියදීත් කැබ් රථයක් පදවාගෙන යමින් සිටියදී අත්අඩංගුවටගත් සැකකාර සමීර ලක්මාල් නමැති රියැදුරු රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. එහිදී පොලිසිය ඉදිරිපත් කරනු ලැබූ කරුණු සැලකිල්ලට ගෙන රියදුරු ලබන 23 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.