මහ වැස්සෙන් පවුල් 33,379ක් පීඩාවට- බස්නාහිර මරණ 3ක් / මේ වසරේ ගම්පහ දෙවැනි වරටත් යටවෙයි

දිවයිනේ දිස්ත්‍රික්ක 12කට පසුගිය 07 වැනිදා සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ඇතිවී තිබෙන ක්ෂණික ජල ගැලීම්, අධික සුළං, කණ්ඩි කඩා වැටීම්, ගස් කඩා වැටීම් හේතුවෙන් ඊයේ (13) පස්වරු 6.00 වන විට පවුල් 33,379ක පුද්ගලයන් 129,989ක් බලපෑමට ලක්වී ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දියේ ගිලී සිදුවූ මරණ තුනක් ද සිදුව ඇති අතර ඉන් දෙදෙනෙක් කොළඹ සහ අනෙක් පුද්ගලයා කළුතර ද වෙයි. එම මරණ තුනම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාත තුළය. තුවාල වූ පුද්ගලයන් 02කි. පූර්ණ නිවාස හානි 01කි. අර්ධ නිවාස හානි 238කි.

ආරක්ෂිත ස්ථාන 81ක පවුල් 1,751ක පුද්ගලයන් 6,954ක් සිටින බව ද එම මධ්‍යස්ථානය නිකුත් කර තත්ත්ව වාර්තාවේ සඳහන් වේ. කළුතර, ගම්පහ, කොළඹ, කිලිනොච්චිය, කෑගල්ල, රත්නපුර, හම්බන්තොට, ගාල්ල, පොළොන්නරුව, නුවර, කුරුණෑගල, පුත්තලම දිස්ත්‍රික්කවල ජනතාව එසේ බලපෑමට ලක්වී තිබේ.

වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ බස්නාහිර පළාතේ ජනතාව වන අතර ඒ අතරින්ද වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ ගම්පහ ජනතාවයි. ගම්පහ නගරය ද ජලයෙන් යටවී තිබුණු අතර වෙළඳ සැල් සහ ව්‍යාපාරික ආයතන රැසක් මේ හේතුවෙන් ජලයෙන් යටවී ඇත.

ගම්පහ නගරය මෙම වසරේ ජලයෙන් යටවූ දෙවැනි අවස්ථාව මෙයයි. මෙයට පෙර ගම්පහ නගරය වැස්සෙන් යටවන්නේ වසර දෙක තුනකට වරක් පමණි. ඒ අත්තනගලු ඔය පිටාර ගැලීමෙනි.

කැලණි ගඟ ද්‍රෝණිය සහ අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම් හෙට(15) දක්වා දීර්ඝ කර තිබේ. අද(14) දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය, දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කාලගුණ අනාවැකියක් නිකුත් කරමින් සඳහන් කරයි. ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද එහි සඳහන් වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක් සඳහා නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීමේ දෙවැනි සහ පළමු අදියරේ නිවේදන ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර තිබේ. මෙම අනතුරු ඇඟවීම් අද(14) පස්වරු 4.00 දක්වා වලංගු වේ.