මෙරට ඔසුසල් ජාලයේ 62 වන රාජ්‍ය ඔසුසල ශාඛාව පොතුවිල් නගරයේ දී විවෘත කෙරේ

ගුණාත්මක ඖෂධ ජනතාවට දැරිය හැකි මිලකට ලබාදීමේ උදාර පරමාර්ථය පෙරදැරිව  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC)  නැගෙනහිර පළාතේ පොතුවිල් ඔසුසල ශාඛාව ඊයේ දින (13) පෙරවරුවේ  සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල් ජාලයේ 62 වන ඔසුසල ශාඛාව මෙය වේ.

පොතුවිල් මුලික රෝහල  පරිශ්‍රයේ මෙම ඔසුසල ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබුනි.

මෙම රාජ්‍ය ඔසුසල ශාඛාව මගින් ද පළපුරුදු ඖෂධවේදීන්ගේ සේවාව යටතේ, රාජ්‍ය මුද්‍රාව සහිත නියම ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ඖෂධ අඩු මිලකට මිලදී ගැනීමට ජනතාවට හැකියාව ලැබෙන අතර, ඡ්‍යෙෂ්ඨ පුරවැසියන්, ගර්භනී මවුවරුන් සහ වයස අවුරුදු 05 ට අඩු දරුවන් සදහා 5% ක සුවිශේෂි වට්ටමක් සහිතව ඖෂධ නිකුත් කිරීම ද විශේෂත්වයකි.

ඔසුසල විවෘත කිරීමෙන් අනතුරුව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටි‍යේ …

නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවට  ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම සදහා පොතුවිල් මුලික රෝහල ද මධ්‍යම රජයට පවරා ගනිමින් එම රෝහල් ලබාදෙන රෝගී ප්‍රතිකාර සේවාවන් තව තවත් පුළුල් කිරීම සදහා පලාත් සභාවේ අනුමැතිය හා සහයෝගය යටතේ කටයුතු සිදු කරන බවයි.

ඒ අනුව ඉදිකිරීම් කටයුතු අවසන් අදියරේ පවතින නව ගොඩනැගිලි දෙකක්  ඉදිරි මාස 02 ඇතුලත  එම ඉදිකිරිම් කටයුතු අවසන් කර ජනතා අයිතියට කිරීමට කටයුතු කරන  බවත්, බාහිර රෝගී අංශය, හදිසි ප්‍රතිකාර ඒකකය, ශල්‍යාගාර සහ අනෙකුත් පහසුකම් සහිත ගොඩනැගිල්ලක් මෙන්ම පරිපාලන හා බාහිර රෝගී සායන සදහා ගොඩනැගිල්ලක් ඒ යටතේ වන බව ද පැවසීය.

ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට ජනතාවට ලබාදීමේ රජයේ වැඩපිළිවෙල අනුව දිවයින පුරා ඔසුසල් ජාලාවක් ස්ථාපිත කෙරෙන බව ද පැවසීය.

මෙම අවස්ථාවට නැගෙනහිර පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී.ඩී කොස්තා, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය අර්ජුන තිළකරත්න, කළමණාකාර අධ්‍යක්ෂ මෙවන් සම්පත් සුබසිංහආරච්චි, සාමාන්‍යාධිකාරි දිනූෂ දසනායක, පොතුවිල් මුලික රෝහලේ වෛද්‍ය අධිකාරී නිතින් රණවක යන මහත්වරුන් මෙන්ම රාජ්‍ය ඖෂධ සංස්ථා‌වේ නිලධාරීන්,  පොතුවිල් රෝහලේ වෛද්‍යවරුන්, ‍හෙද හෙදියන්  ඇතුලු ප්‍රදේශවාසී ජනතාව ද එක්ව සිටියහ.