එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයට ජාත්‍යන්තර විරෝධය-ශ්‍රී ලාංකික සෙබළුන් දෙදෙනකුටත් තුවාල

දකුණු ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක සෙබළුන්ට එරෙහිව ඊශ්‍රායල හමුදාවෙන් එල්ලවූ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් රටවල් 40කින් නිවේදන නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම නිවේදන නිකුත් කර ඇත්තේ පසුගියදා දකුණු ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව රැඳී සිටි කඳවුරක නිරීක්ෂණ කුලුනකට ඊශ්‍රායල හමුදාවෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙන් පසුවය.

එම ප්‍රහාරයෙන් නිරීක්ෂණ කුලුනෙහි සිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව සිටි ඉන්දුනීසියානු සෙබළුන් දෙදෙනකු බිම ඇද වැටී තුවාල ලබා ඇති අතර, ඊට පසු දිනයේ එල්ල වූ තවත් ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික සෙබළුන් දෙදෙනකු තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එම ප්‍රහාරයට තම හමුදාව වගකිව යුතු බවත්, එය විමර්ශනයට ලක්විය යුතු බවත් ඊශ්‍රායලය පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඊශ්‍රායල ප්‍රහාරයෙන් පෙරේදා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ පස්වැනි සෙබළාත් තුවාල ලැබීය.