හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීමට ගුවන් හමුදාව සුදානමින්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේ දී ඇති විය හැකි අයහපත් කලගුණ තත්ත්වය දැනුවත් කිරීමත් සමඟ ඉදිරියේදී හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා සහන සැලසීම හා මුදවාගැනීමේ කටයුතු සඳහා ගුවන් යානා හා ඊට අදාළ භට පිරිස් ස්ථානගත කර තැබීමට ගුවන් හමුදාව පියවරගෙන ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක‍්ෂ ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පැවසීය.

ඒ අනුව ඇතිවිය හැකි ආපදා පිළිබඳ නිරතුරු ගුවනින් නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදා නිරීක්ෂණ ගුවන් යානා මෙන්ම ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ජනතාව හට සහන සැලසීමට හා මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් යානා තුනක් ස්ථානගත කර ඇත.

ඉන් ‘Bell- 412’ වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේද, ‘Bell- 212’ වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සහ පලාලි ගුවන් හමුදා කඳවුරේද ස්ථානගත කර තිබේ.

එමෙන්ම මුදවාගැනීම් සඳහා සුවිශේෂි පුහුණුවක් ලබා ඇති ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා භට පිරිස්ද එම කඳවුරු තුළ සුදානම් කර ඇත.