ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට විශාල දායකත්වයක් ලබා දෙමින් රුපියල් කෝටි 280ක ආයෝජනයකින් ආයුර්වේද නිකේතනයක් බෙන්තොට ප්‍රදේශයේ ඉදිකිරීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලාංකික ආයෝජක චන්දන සිල්වා මහතාගේ හා ජපාන ආයෝජක සෙයිජි ඔට්සුකා (SEIJI OTSUKA) මහතාගේ ආයෝජනයෙන් ආරම්භ කළ බෙන්තොට සෙලෙස්ටියා ආයුර්වේද නිකේතනය විවෘත කිරීම පසුගියදා (10) සිදුකෙරිණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් රේණුකා විරකෝන මහත්මිය සහභාගි විය. මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල්වරිය, මෙරට ආර්ථිකයේ විශාල පැතිකඩකට දායකත්වයක් දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සාම්ප්‍රදායික සීමාවෙන් ඔබ්බට ගොස් රටට වැඩි විදේශ විනිමයක් එක් කරන නව ආයෝජන මානයන් කෙරේ ආයෝජකයින් උනන්දු කරවන බව පැවසුවාය.
වාර්ෂිකව විශාල විදේශ විනිමයක් රටේ ආර්ථිකයට එක්කරන සංචාරක ව්‍යාපාරය තව දුරටත් වර්ධනය කර ගැනීම වෙනුවෙන් මේ වනවිටත් ආයෝජකයින් හට සේවා සැපයීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ක්‍රියාකරයි. දශක ගනනාවකට පෙර පැවති සංචාරක කර්මාන්තයේ ස්භාවය අද වනවිට බොහෝ සෙයින් වෙනස් වෙමින් පවතින අතර පවතින වානිජකරණයත් සමඟ මිනිස් ජීවිත කාර්යබහුල හා අවිවේකි වී ඇත.
බොහෝ පිරිස් මානසික ආතතීන් හා බෝ නොවන රෝගයන්ට ගොදුරු වෙමින් සිටිති. ගෝලීය වශයෙන් ගත් කළද මෙය සාමාන්‍ය තත්ත්වයක් වන අතර ශාරීරික හා මානසික සහනය සඳහා සාර්ථකම පිළියමක් ලෙස හෙළ වෙදකම හා බැඳුණු යෝග හා භාවනාවන් ක්‍රම අනුගමනය කිරීම ලොව පුරා ඉහළ යමින් පවතී.