කාන්තා ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.30ට සාජා ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ශ්‍රී ලංකා පිල මෙතෙක් තරගාවලියේ මුහුණ දුන් තරග තුනම පරාජය වී සිටින හෙයින් මේ තරගයේ ප්‍රතිඵලය කුමක් වුවද තරගාවලියෙන් ඉවතට ගොස් හමාරය. එබැවින් අද තරගයේ ජයග්‍රහණය ආසියානු ශූර ශ්‍රී ලංකා පිලේ අභිමානය රැක ගැනීමට හේතු වනු ඇත. එසේ නොවුණහොත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හිස් අතින් නිෙවසට පැමිණීමට සිදු වනු ඇත.
එමෙන්ම මීළඟ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම උදෙසා ශ්‍රී ලංකා පිලට මේ තරගයේ ජයග්‍රහණය ද ඉතා වැදගත් වේ.
කාන්තා විස්සයි20 තරගවලදී ශ්‍රී ලංකාව හා නවසීලන්තය ඉතිහාසය පුරා තරග 13කදී හමුවී ඇති අතර, එයින් නවසීලන්තය තරග 12ක ජය වාර්තා කොට ඇති අතර, ශ්‍රී ලංකාව තරගයකින් ජය වාර්තා කර ඇත.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ දක්ෂතා අවම මට්ටමක තිබූ හෙයින් ඒ සම්බන්ධව ශ්‍රී ලංකා ප්රේක්ෂකයන්ගෙන් සමාව අයදින බව ඊයේ අයිසීසි මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පැවසුවාය.
“අපි හොඳින් ක්‍රීඩා කළේ නෑ. විශේෂයෙන් මගෙන් අපේක්ෂා කළ දක්ෂතා මට පෙන්වන්න බැරි වුණා. ඒ ගැන කනගාටු වෙනවා. මේ පසුබැසීම පිළිබඳ ශ්‍රී ලංකා ප්රේක්ෂකයන්ගෙන් මා සමාව ඉල්ලා සිටිනවා” චමරි පැවසුවාය.
මේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නොනවතින බවත් ඉදිරියේ ඇති ක්‍රිකට් තරගාවලි සඳහා යොවුන් ක්‍රීඩිකාවන් සූදානම් කිරීම වගකීම බවත් ඇය අවධාරණය කළාය.
“අපි අද තරගයේ ජයග්රහණයෙන් මේ තරගාවලිය හොඳ තැනකින් නිමා කිරීමට අපේක්ෂා කරනවා. අපිට ඉන්න තරුණ ක්‍රීඩිකාවන් පසුගිය තරගවලදී ලැබූ පරාජයන් සම්බන්ධව කලකිරීමකින් පසුවෙනවා. ඔවුන්ගේ මානසිකත්වය ඉහළ දමා ගැනීමට අපි ඉදිරිය ගැන කතා කරමින් ඉන්නවා. අපේ පුහුණු කාර්ය මණ්ඩලය මේ වෙනුවෙන් කැප වුණා. අද නවසීලන්තය සමඟ තරගය අපි දිනන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් කළ හැකි උපරිමය කරනවා” චමරි අතපත්තු පැවසුවාය.
මෙතෙක් පැවති තරග තුනේදීම ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකාරිනියන් දෙදෙනා හා මුල්පෙළ කඩා වැටී ඉක්මනින් ක්‍රීඩාගාරය වෙත යෑම තරග පරාජයට හේතුව බවද ඇය සඳහන් කළාය. “මට ලකුණු අතරට එන්න බැරි වුණා. ඒ වගේම මුල්පෙළ කඩාවැටුණා. අපි හොඳින් පන්දු යැව්වා. ඒත් පන්දු රැකීම හොඳ නෑ. තරග දිනන්න නම් පන්දු රැකීම හොඳ මට්ටමක පැවැතිය යුතුයි”
මෙවර විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී චමරි ක්‍රීඩා කළ තරග 3කදී රැස් කළේ ලකුණු 10ක් පමණි. අනෙක් ආරම්භක පිතිකාරිනිය වූ විශ්මි ගුණරත්න පාකිස්තානයට එරෙහි තරගයේදී ලකුණු 20ක් රැස් කළ අතර, ඔස්ට්‍රේලියාවට හා ඉන්දියාවට එරෙහි තරග දෙකේදී ලකුණු නොලබා දැවී ගියාය.
ශ්‍රී ලංකාවට එරෙහිව තරග බිමට පිවිසෙන නවසීලන්තය මෙතෙක් තරගාවලියේ තරග දෙකකට සහභාගි වී තරගයක් ජයගෙන තරගයක් පරාජය වී ලකුණු සටහනේ තෙවැනි තැන සිටී. එබැවින් අවසන් පූර්ව වටයට පැමිණීම සඳහා නවසීලන්තය මේ තරගය ජය ගැනීමට ප්‍රබල උත්සාහයක නිරත වනු නොඅනුමානය.