ළමයින් පිළිබඳ සංවේදි කාරණා සම්බන්ධව ප්රවෘත්ති ජනමාධ්‍යවල පළ කිරීමේදී ළමයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අවධාරණය කරයි.
එම අධිකාරියේ සභාපතිනී ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය විසින් මේ පිළිබඳව කරුණු දක්වමින් ඊයේ (11) මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අතර එම නිවේදනයේ මේ බව සඳහන් කර ඇත.
ළමා අපයෝජන හා සියදිවි නසා ගැනීම් ආදී සිදුවීම් සම්බන්ධයෙන් ජනමාධ්‍ය මඟින් කරුණු වාර්තා කිරීමේ දී වින්දිත ළමයාගේ අනන්‍යතාව හෙළිවන අයුරුන් කරුණු වාර්තා කිරීම නිසා එම ළමයා, එම ළමයාගේ දෙමාපියන් හා සෙසු ළමයින් ඇතුළු පිරිස්ද මානසික පීඩනයට පත්වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ඒ නිසා ළමයින් සම්බන්ධ සංවේදී සිදුවීම් ජනමාධ්‍ය මඟින් වාර්තා කිරීමේදී වඩාත් සැළකිලිමත් විය යුතු බවත්, 1998 අංක 50 දරන පනත යටතේ අධිකාරිය වෙත පැවරී ඇති බලතලවලට අනුව එවැනි වාර්තාකරණයන් නියාමනය කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අයිතියක් ඇති බවත් මෙහිදී පෙන්වා දී තිබේ.
එමෙන්ම 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය අනුවද ළමයෙකුගේ උපරිම යහපත ඇති කිරීම සඳහා මැදිහත්වීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ඇති බලතල ප්‍රකාරව ළමුන්ට හානි වන වාර්තා කිරීම් සම්බන්ධව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවද එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත.