මීට ප්‍රථම ශ්‍රී ලංකාව වෙත එක්සත් ජනපද ඩොලර් එවීමට කටයුතු නොකළ හා යම් යම් ප්‍රමාදයන් සිදු කළ අපනයනකරුවන් මෙන්ම ඩොලර් උපයන්නන් මේ වනවිට වැඩි වශයෙන් රට ගැන සිතා ඩොලර් රඳවා නොගෙන මෙරටට එවීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙන බැවින් එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි අගය වැඩිවීමක් මේ වන විට දක්නට ලැබෙන බව විනිමය වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති.
විදේශගත ශ්‍රී ලාංකිකයන් ඇතුළු රටට හිතැති ව්‍යාපාරිකයන්, ආයෝජකයන්, විදේශ රාජ්‍ය සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන ශ්‍රී ලංකාවේ වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ රජය ගෙනයන ආර්ථික වැඩපිළිවෙළ කෙරෙහි ගොඩනැඟී ඇති විශ්වසනීයත්වය මේ තත්ත්වයට හේතුවී ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.
තමන් විසින් උපයන සෑම ඩොලරයක්ම අපනයනකරුවන් විසින් මෙන්ම ශ්‍රමිකයන් ලබන සෑම ඩොලර් ආදායමක්ම විදේශයන්හි රඳවා නොගෙන හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට නීත්‍යනුකූල මාර්ග ඔස්සේම එවීමට පියවර ගැනීම හේතුකොටගෙන ඩොලරයෙහි අගය පහත වැටෙමින් ශ්‍රී ලංකා රුපියලෙහි අගය වැඩි වීමක් මේ වන විට මූල්‍ය හා විනිමය වෙළෙඳපෙළේ සිදුවී තිබේ.
උණ්ඩියල් වැනි ක්‍රමවේද ඔස්සේ මෙරටට මුදල් එවීමේ අඩුවීමක් දක්නට ලැබෙන බව ද සඳහන්ය. තමන් උපයන ඩොලර් ආදායම්, කිසිවකු විසින් අයුතු ආකාරයකට රඳවා ගැනීමක් හෝ නතු කර ගැනීමක් සිදුවෙතැයි බියෙන් ඇතැම් අපනයනකරුවෝ පසුගිය කාලයේ මෙරටට මුදල් එවීම සීමා කළහ.
එමෙන්ම දිනෙන් දින ඩොලරයේ අගය ඉහළ ගොස් තමන්ට වැඩි වාසි ලබා ගැනීමට හැකි වේ යැයි මානසිකත්වයෙන් යුතුව ඇතැම් පිරිස් පිටරටවල ඩොලර් රඳවාගෙන සිටියහ. නමුත් වත්මන් ජනපතිවරයා ඇතුළු ලොව කුඩාම ඇමැති මණ්ඩලය කිසිදු බාධාවකින් තොරව තමන්ගේ ව්‍යාපාරික කටයුතු කිරීමට ඉඩකඩ නිර්මාණය කර දීම නිසා මේ දිනවල මෙරටට ඩොලර් එවීම වැඩි වී තිබේ.
ආර්ථිකයේ පිබිදීමක් අපේක්ෂාවෙන් ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ විදේශ රාජ්‍යයන් මූල්‍ය අනුග්රහයන් දැක්වීමට ඉදිරිපත් වී තිබීම, ණය කපා හැරීම සිදු කිරීම වැනි සැබෑ ආර්ථික සාධක සහ රටෙහි යම් ආර්ථික දියුණුවක් සිදුවෙතැයි මනෝමූලික සාධක යන සාධක දෙක පදනම් කරගෙන විශ්වාසනීයත්වයක් ගොඩ නැඟී තිබීම රුපියලේ අගය ශක්තිමත් වීමට විශාල ලෙස බලපා ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.