සිහි කැඳවීම් මායිම් නොකර නිල නිවාස තබාගෙන සිටින සැමට නීතිය ක්‍රියාත්මක කරන්නැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මෙණෙවිය උපදෙස් දී තිබේ. ඇමැති ධුර අහෝසි වීමත් සමග නිල නිවාස භාර දීම සිදු විය යුත්තක් බවත්, මෙතෙක් නිල නිවාස භාර නොදුන් අය වෙත යළි සිහි කැඳවීම් කරන ලෙසත් අගමැතිනිය නිලධාරීන්ට උපදෙස් දුන්නාය. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් හා මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පසුගියදා (9) වැනිදා එම අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකට එක් වෙමින් මෙසේ උපදෙස් දෙනු ලැබීය. ඇමැති නිල නිවාස භාර දීම දේශපාලන පළි ගැනීමක් ලෙස නොදකින ලෙසත්, ප්‍රතිචාර නොලැබෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් අගමැතිවරිය කියා සිටියාය. එමෙන්ම සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට ඉඩමක් පැවරීම සම්බන්ධයෙන් සමාජයේ මතුව ඇති පුවත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් අමාත්‍යංශ නිලධාරීන් විසින් අගමැතිවරියට සිදු කරන ලදි.
හිටපු ඇමැති මහින්ද අමරවීර මහතා භාවිත කළ නිල නිවාසය, 1994 වර්ෂයේදී එවකට අධ්‍යාපන ඇමැති රිචඩ් පතිරණ මහතා විසින් ඉදිරිපත් කරන ලදුව කැබිනට් මණ්ඩලය මඟින් සම්මත කරන ලද යෝජනාවක් මත අදාළ පාසල දෙපසට වන්නට ඇති ඉඩම් කැබලි දෙකක් සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට පැවරීමට එවක රජය තීරණය කොට තිබූ බවත්, අංක 11 දරන ඉඩම අදාළ යෝජනාව සම්මත වීමත් සමඟ පාසලට පැවරීමට එවක රජය කටයුතු කළද අංක 3 දරන ඉඩමෙහි ඇමැති නිල නිවාසයක් පැවතීම හේතුවෙන් මේ වන තෙක් පවරාගැනීමක් සිදුව නොතිබුණ බවත් එහිදී අනාවරණය විය. කඩිනමින් අදාළ නිවස භාර ගෙන මැනුම් කටයුතු සිදු කර එකී ඉඩම පාසල වෙත භාර දීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස අගමැතිවරිය කියා සිටියාය.