වැස්ස වැඩි වෙයි-රතු නිවේදනත් නිකුත් කරයි

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කීපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම වැසි තත්ත්වය 13 වැනි දින පමණ දක්වා පවතිනු ඇති බවත් අද (11) තද වැසි බලාපොරොත්තු වන බවත් කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනත කුමාර මහතා පැවසීය. අරාබි මුහුද ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය සහ දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය මෙම තත්ත්වයට බලපා ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව අද (11) බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.