කොදෙව් පිල එයි

විස්සයි20 සහ එක්දින තරගාවලි ද්විත්වයකට ක්‍රීඩා කිරීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ඊයේ උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණියේය.

විස්සයි20 කණ්ඩායම රොව්මන් පවෙල්ගේ නායකත්වයෙන් සහ රොස්ටන් චේස්ගේ උප නායකත්වයෙන්, එක්දින සංචිතය ෂායි හෝප්ගේ නායකත්වයෙන් සහ අල්සාරි ජෝසප්ගේ උප නායකත්වයෙන් ද තරග බිමට පිවිසීමට නියමිතය.

පෞද්ගලික හේතුන් මත මේ සංචාරයෙන් කොදෙව් ප්‍රබල ක්‍රීඩකයන් වන ඇන්ඩ්‍රි රසන්, නිකොල්ස් පූරාන්, ශිම්රන් හෙට්මයර් සහ අකීල් හොසේන් ඉවත් වීමට කටයුතු කළ අතර, පළපුරුදු පිතිකරුවකු වන එවින් ලුවිස්ට සංචිත දෙකේම ස්ථාන හිමිව ඇත.

තුන් ඉරියව් ක්‍රීඩකයන් වන ටෙරන්ස් හින්ඩ්ස් සහ ෂමර් ස්ප්‍රින්ගර් පළමුවරට ජාතික සංචිතයට කැඳවා ඇති අතර, ඔවුන් විස්සයි20 තරගවලට පමණක් එක් වෙති. 17 හැවිරිදි ජුවෙල් ඇන්ඩෘෘ ද පළමු වරට සංචිතයට එක්වන සිටින අතර, ඔහු එක්දින තරගාවලියට පමණක් ක්‍රීඩා කරයි. බ්‍රෙන්ඩන් කිං සහ ෂර්ෆාන් රදර්ෆර්ඩ් වසරකට පසුව යළි එක්දින කණ්ඩායම සමඟ එක්ව සිටිති.

මේ ඉරිදා (13) දඹුල්ලේදී ආරම්භ වන ශ්‍රී ලංකා – කොදෙව් විස්සයි20 තරගාවලියේ ඉතිරි තරග 15 සහ 17 දිනවල දඹුල්ලේදීත්, එක්දින තරගාවලිය පල්ලෙකැලේදී මේ මස 20, 23 සහ 26 දිනවලදී දිවා රාත්‍රි ලෙස පැවැත්වීමට නියමිතය.