අනුප පැස්කුවල්ගේ බැංකු ගිණුම් 2ක් තහනම්

අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල් මහතාට අයත් බැංකු ගිණුම් 2ක් සම්බන්ධයෙන් තහනම් නියෝගයක් කොළඹ මහාධිකරණය ඊයේ (10) නිකුත් කළේය.

දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය ඇමැතිවරයාට අයත් මතුගම සහ කොග්ගල පිහිටි බැංකු ගිණුම් 2ක් මාස 3ක කාලයක් සඳහා තහනම් කිරීමට අවශ්‍ය බවට කරන ලද ඉල්ලීමක් පිළිගත් කොළඹ මහාධිකරණය මෙම නියෝගය දුන්නේය.

ඒ අනුව 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 53(4) වගන්තිය ප්‍රකාරව එම බැංකු ගිණුම් මඟින් කිසිදු ගනුදෙනු කටයුත්තක් ජනවාරි මස 4 වැනිදා දක්වා සිදු කළ නොහැකි බවට මෙම නියෝගයේ දැක්වේ.