නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දකුණු කොරියානු ලේඛිකාවට

දකුණු කොරියාවේ අතිශය ජනප්‍රිය ප්‍රබන්ධ කතා රචිකාවක වූ හැන් කාංග් මෙවර නොබෙල් සාහිත්‍ය ත්‍යාගයට හිමිකම් කීමට සමත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට පෙර‍ ‘වෙජිටේරියන්’ නමින් කෘතියක් ලියා පළ කළ 54 හැවිරිදි මේ ලේඛිකාව ජාත්‍යන්තර කීර්තියට පත්වූයේ 2007 දී කොරියානු බසින් රචිත එම කෘතිය 2015දී ඉංග්‍රීසි බසට පරිවර්තනය වීමෙන් පසු ඇයට මෑන් බුකර් ජාත්‍යන්තර ත්‍යාගය හිමිවීමත් සමඟය. වසර 1901 දී ආරම්භ කළ නොබෙල් ත්‍යාග පිරිනැමීමේ ඉතිහාසයේ කාන්තාවක් සාහිත්‍ය ත්‍යාගය දිනූ 18 වැනි අවස්ථාව ලෙසත් එය ඉතිහාසයට එක්විය.

ඓතිහාසික කම්පනයන්ට මුහුණ දෙන සහ මිනිස් ජීවිතයේ බිඳෙනසුලු බව විදහා දක්වන ඇගේ කාව්‍යමය ගද්‍ය රචනා සඳහා මෙවර නොබෙල් සාහිත්‍ය ත්‍යාගයට ඇය තෝරාගත් බව නොබෙල් ත්‍යාග පිරිනමනු ලබන ස්විඩනයේ රාජකීය විද්‍යා ඇකඩමිය ප්‍රකාශ කර තිබේ. නොබෙල් සාහිත්‍ය ත්‍යාගය සමඟ හැන් කාංග්ට ස්විඩන් මුදලින් ක්‍රෝන මිලියන 11ක් ද (ශ්‍රී ලංකා රුපියල් කෝටි 30කට අධික මුදලක්) හිමි වූ බව වාර්තා වේ.