ආරක්ෂක ක්ෂේත්‍රයේදී පාකිස්තාන සහය දිගටම

ආරක්ෂක ක්ෂේත්‍රයේදී පාකිස්තානයේ සහය නොමඳව ශ්‍රී ලංකාවට හිමි වන බව මෙරට පාකිස්තාන මහ කොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේදී සහතික වූයේය. මේ අදහස් පළ වූයේ ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M) මහතා ඊයේ (10) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකා පාකිස්තාන දීර්ඝකාලීන සබඳතාව මෙහිදී සිහිපත් කළ පාකිස්තාන මහ කොමසාරිස්වරයා පාකිස්තාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත එවනු ලැබූ විශේෂ සුබපැතුම් පණිවිඩයද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දීර්ඝකාලීන දේශපාලන සහ ආරක්ෂක සබඳතා වැඩිදියුණු කරගැනීම පිළිබඳ මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මහ කොමසාරිස්වරයා සාකච්ඡා කළ අතර, ආරක්ෂක ක්ෂේත්‍රයේදී පකිස්තානයේ සහය නොමඳව ශ්‍රී ලංකාව‍ට පිරිනමන බවට මහ කොමසාරිස්වරයා සහතික විය.