මාධ්‍යවල යන්නේ බොරු ප්‍රචාර – ආරක්‍ෂක ලේකම් කියයි

ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ හිමිකම් කප්පාදු කිරීමට රජයට කිසිදු අදහසක් නැති බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අවධාරණය කරයි.

ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට දී ඇති හිමිකම් කප්පාදු කිරීමේ රජයේ අරමුණක් පිළිබඳ මාධ්‍යවල අසත්‍ය තොරතුරු පැතිර යන බවත් කෙසේ වෙතත් කිසිදු අවස්ථාවක ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට දී ඇති හිමිකම් කප්පාදු කිරීමට වත්මන් රජයට කිසිදු අදහසක් නැති බව ද ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේය. ආරක්‍ෂක ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) පසුගියදා (07) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සිදු කළ පළමු නිල සංචාරයේදී ගුවන් හමුදා සාමාජිකයන් අමතමින් එසේ ප්‍රකාශ කළේය.

මෙම සංචාරය අතරතුර ආරක්‍ෂක ලේකම්වරයා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ගුවන් හමුදා මූලස්ථානයේ අංශ කිහිපයක නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා ද ආරක්‍ෂක ලේකම්වරයා සමඟ මෙම සංචාරයට එක් විය.