සොබාදහම් පියසේ තිබූ ඇත්දළ යුගල යළි වනජීවියට

පරිසර අමාත්‍යාංශයේ සොබාදහම් පියසේ පිහිටා ඇති අමාත්‍ය නිල කාමරයේ තැන්පත් කර තිබූ දුර්ලභ ගණයේ වටිනාකමකින් යුත් ඇත් දළ යුගල නැවත වනජීවී දෙපාර්තමේන්තුවට ලබාදීමට අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පෙරේදා(07) දිනයේදී පියවර ගනු ලැබීය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් බී.කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා එක්ව සිටි අතර වන ජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී සූරිය බණ්ඩාර මහතා විසින් මෙම ඇත් දළ යුගල නිල වශයෙන් භාර ගැනීම සිදු කළ අතර එය වන ජීවී දෙපාර්තමේන්තුව වෙත රැගෙන යාමට නියමිතය.

මෙය 2017 වර්ෂයේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි සංවර්ධන සහ පරිසර ඇමැති ධූරය දරනු ලැබූ කාලයේ පරිසර අමාත්‍යාංශයේ අලංකරණය වෙනුවෙන් යැයි සඳහන් කරමින් වනජීවී අමාත්‍යාංශයට මෙම අත්දල යුගල පවරාගෙන ඇති බව සඳහන් වේ. මෙම ඇත් දළ යුගල මේ දක්වා ඇමැතිවරයාගේ නිල කාමරයේ තැන්පත්කර තිබූ අතර වත්මන් විෂය භාර ඇමැති විජිත හේරත් මහතාගේ ඉල්ලීමක් පරිදි වනජීවී දෙපාර්තමේන්තුවට ලබා දීමට තීරණය කර තිබේ.