ශ්‍රී ලංකා-ඉන්දියා තීරණාත්මක ගැටුම අදයි-අපිට දැන් නැති වෙන්න දෙයක් නෑ. ලබා ගන්න දේවල් පමණක් තියෙනවා – නායිකා චමරි

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව තවදුරටත් රැඳී සිටිනවාද? පළමු වටයෙන්ම ඉවතට යනවාද? යන්න තීරණය කෙරෙන ඉන්දියාවට එරෙහි තරගය ඩුබායි ජත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 7.30ට ආරම්භ වෙයි. ශ්‍රී ලංකා කාන්තා පිල සහභාගිවූ පාකිස්තානය හා ඔස්ට්‍රේලියාව අතර තරග දෙකම පරාජයවී ඇති හෙයින් දරුණු අර්බුදයකට පත්ව ඇති අතර, එයින් යම් සහනයක් ලබා ගැනීමට අද තරගය ජය ගැනීම ඉතා වැදගත් එකක් බවට පත්ව ඇත.

මෙතෙක් ශ්‍රී ලංකාව සහභාගිවූ තරග දෙකම සාජා තණතිල්ලේ පැවති අතර, අද තරගය එයට හාත්පසින්ම වෙනස් ඩුබායි පිටියේ පැවැත්වීම නැවුම් බලාපොරොත්තුවක් බවට පත්ව තිබේ.

නිමාවට පත්වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව කඩුලු 8කින් පරාජයට පත්කොට විශාල අත්දැකීමක් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද තරගයේදී ඉතා හොඳින් මුහුණ දෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊයේ ඩුබායිහි පිහිටි අයිසීසී මූලස්ථාන ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවාය.

“අපිට දැන් නැති වෙන්න දෙයක් නෑ. අපිට ලබා ගන්න දේවල් ඉතිරිව තියෙනවා. ඒ නිසා පීඩනයක් තියෙනවා. අනෙක් කණ්ඩායම් හොඳින් කරනවා නම් අපිට බැරි වෙන්න කොහොමද? මොකක්ද අපිට වැරදුන තැන. ඒ වැරදි හදා ගන්න වෙනවා. ඩුබායිවල රස්නය වැඩියි. ඒක අමතර පීඩනයක්. නමුත් අද දවසේ ලොකු දෙයක් කරන්න අවශ්‍යයි. අපේ සූදානමත් ඒකයි” චමරි පැවසුවාය.

“අපි මේ තරගාවලියේදී හොඳ ක්‍රිකට් ක්‍රීඩාවක් කළේ නෑ. අද තරගයේදී විශාලම වගකීම තියෙන්නේ මට. මම නායිකාව ලෙසත් ආරම්භක පිතිකාරිණිය ලෙසත් ඒ වගකීම ගත යුතුයි. පසුගිය තරග දෙකේදීම හොඳ ආරම්භයක් ලබා දෙන්න බැරි වුණා. ඒ ආරම්භය මා අරන් දිය යුතුයි. එවිට කණ්ඩායම විශාල පිබිදීමක් ඇති කර ගන්නවා. ඒ වගේම මා දන්නවා රටේ ජනතාවත් මම ලකුණු අතරට යළි එනවා දකින්න ආස බව. මා ඒ අභියෝගයටත් පීඩනයටත් කැමැතියි” ශ්‍රී ලංකා නායිකාව සඳහන් කළාය.

“ප්‍රේක්ෂකයන් සතුටින් ඉන්නවා කියන්න බෑ. ඔවුන් ගොඩක් දේවල් බලාපොරොත්තු වුණා. තාම අපි වැටිලා නෑ. ඒ නිසා බලාපොරොත්තු අත්හැර නෑ. මම තනියෙන් තරග දිනා තියෙනවා. ඒ නිසා අද තරගයේදී මම හොඳ දෙයක් කරනවා. යොවුන් ක්‍රීඩිකාවන්ට පීඩනයක් දෙන්න කැමැති නෑ. මගේ පැත්තට පීඩනය ගන්නවා. අනෙක් ක්‍රීඩිකාවන්ට නිදහසේ ක්‍රීඩා කරන්න දීලා තියෙනවා”

“පන්දු රැකීම ගැන සෑහීමකට පත් වෙන්න බෑ. උඩ පන්දු කිහිපයක් අත්හැරියා. පන්දු යැවීම හොඳින් කරනවා. අඩුපාඩු හදා ගැනීමට අපි පුහුණුවේදී කටයුතු කළා. සියලු දෙනා රට වෙනුවෙන් යමක් කළ යුතු වෙලාවක්. අපි ඉන්දියාව එක්ක ක්‍රීඩා කරලා අත්දැකීම් තියෙනවා. ඉන්දියාව හොඳ කණ්ඩායමක්. අද දවසේ හොඳින් ක්‍රීඩා කිරීම වැදගත්. අපේ ඉලක්කය වැදගත්. පවර් ප්ලේ එකේ අපි හොඳ ක්‍රීඩා කළේ නෑ. තරගය පටන් ගන්න ආකාරය වැදගත්” චමරි පැවසුවාය.

ශ්‍රී ලංකා මැද පෙළ පිතිකාරිනියක් වූ නිලක්ෂි ද සිල්වා අද තම 100 වැනි විස්සයි20 තරගයට එක්වීම විශේෂත්වයකි. මෙතෙක් ඇය අන්තර්ජාතික විස්සයි20 තරග 99කට සහභාගිවී ලකුණු 1097ක් ලබා ඇති අතර, එයට අර්ධ ශතකයක් එක්කර ගත්තාය. නිලක්ෂි ද සිල්වාට අද අමතක නොවන තරගයක්දීම කණ්ඩායමේ අපේක්ෂාව වී තිබීම ද කැපී පෙනෙන සිදුවීමක් වනු ඇත.

කෙසේ වුවද ශ්‍රී ලංකා පිතිකාරිනියන් ඩුබායි තණතිල්ලේ දඟ පන්දුවට මුහුණදීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති බව ඊයේ පුහුණු සැසියේදී දක්නට ලැබිණි. එයට හේතුවී ඇත්තේ නිමාවූ තරග දෙකේදීම ප්‍රතිවාදී කණ්ඩායම්වල දඟ පන්දු ඉදිරියේ ශ්‍රී ලංකා පිල යම් දුරක පසු බැසීමකට ලක්වීමය. ශ්‍රී ලංකා කාන්තා පිල සහභාගිවූ තරග දෙකේදී බිඳ වැටුණු කඩුලු 16න් 11ක්ම දඟ පන්දුවලට ගොදුරු වීම විශේෂත්වයකි. පාකිස්තානය සමඟ තරගයේදී දඟ පන්දු හමුවේ කඩුලු 7ක් හා ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී දඟ පන්දුවට කඩුලු 4ක් බිඳ වැටිණි. ඇතැම්විට එල්ල කරන ලද ‘රිවස් ස්විප්’ පහරවල් නිසි ඉලක්කයකින් තොරවීමේ දුර්වලතාව කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුව පැවතිණි. පාකිස්තානය සමඟ තරගයේදී ශ්‍රී ලංකා පිල මුහුණදුන් පන්දු 120න් 61ම ලකුණු ලබා ගැනීමට නොහැකි වූ ‘ඩොට් බෝල්’ වූ අතර, ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී පන්දු 129න් 69ක් ‘ඩොට් බෝල්’ විය. මෙය විස්සයි20 ජාත්‍යන්තර තරගයකදී සිදු නොවිය යුතු දෙයක් බව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද තරගයේදී වටහාගෙන ක්‍රියාත්මක වනු ඇතැයි විශ්වාසය වී තිබේ.