මැතිසබේ කාන්තා නියෝජනය වැඩි වුණොත් ගන්නා තීරණත් සමබරයි-පාර්ලිමේන්තු කාන්තා සංසදයේ හිටපු සභාපතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

පාර්ලිමේන්තුව නියෝජනයේ දී වැඩි ඉඩකඩක් කාන්තාවට ලබාදීමෙන් ආණ්ඩුවට සමබර තීරණ ගැනීමේ හැකියාව ලැබෙන බව පාර්ලිමේන්තු කාන්තා සංසදයේ හිටපු සභාපතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

පසුගිය පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය පැවැතියේ සියයට 5ක් බවත් එය මෙවර ඉහළ නැංවිය යුතු අතර ඡන්ද දායකයන් කුමන පක්ෂයකට කතිරය ගැසුවත් එම පක්ෂය නියෝජනය කරන කාන්තාවකට මනාපයක් ලබාදීමට පියවර ගන්නේ නම් පාර්ලිමේන්තුව තුළ ගන්නා තීරණ සමබරව ගත හැකි තත්ත්වයක් උදාකර ගත හැකි බවත් ඇය ප්‍රකාශ කළාය.

“බහුතරයට ඉඩ දෙමු – කාන්තා දේශපාලන දායකත්වය වැඩි කරමු“ මැයෙන් විල් ක්ලබ් මගින් කොළඹ බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහත්මිය මේ බව ඊයේ (08) පැවසුවාය.

ඒ මහත්මිය මෙසේ ද පැවසුවාය.

ඉදිරි මහමැතිවරණයේ දී පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය වැඩි කළ යුතුයි. මේ වන විට මෙරට සුදුසුකම් ලත් ඡන්ද දායකයින්ගෙන් සියයට 56 ක් කාන්තාවන් වෙනවා. පැවති පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය තිබුණේ සියයට 5යි. මන්ත්‍රීවරුන් 225න් කාන්තාවන් සිටියේ 10යි. දක්ෂ කාන්තාවන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමට පක්ෂ කටයුතු කළේ නැත්නම් අපි ජනතාවගෙන් ඉල්ලන්නේ දක්ෂ බුද්ධිමත් කාන්තාවන් ටිකක් පාර්ලිමේන්තුවට පත් කර එවන ලෙසටය. රටේ තිබෙන ප්‍රධාන පක්ෂ සියල්ලගේම සභාපතිත්වය, මහලේකම් ධුරය දරන්නේ පුරුෂයන්. දේශපාලනය තුළ තිබෙන්නේ පුරුෂාධිපත්‍යය. එවිට බොහෝ විට අපේක්ෂක අපේක්ෂිකාවන් තෝරණ විට දී විශාල ධනස්කන්ධයක් අවශ්‍ය වෙනවා. ජයග්‍රහණය කළ හැකි හොඳම පිරිසක් යෙදවීමට තමයි පක්ෂ වුණත් කටයුතු කරන්නේ. එතැන දී කාන්තාවන් අසාධාරණයට පත්වෙනවා. පක්ෂ සභාපතිවරුන්ගෙන්, මහලේකම්වරුන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ අපේක්ෂිකාවන් ඉදිරිපත් කරන්න කියලා. එය දැනටමත් පක්ෂ සමඟ සාකච්ඡා කර තිබෙනවා. කුමන පක්ෂයට කතිරය ගැසුවත් එක් මනාපයක් තමන්ගේ පක්ෂයේ සිටින කාන්තාවක් වෙනුවෙන් භාවිත කරන ලෙසට ඡන්ද දායකයන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා. මේ වෙනස කළේ නැත්නම් දේශපාලනය තුළ සමබර තීරණ ගැනීමේ හැකියාව නැති වෙනවා. කාන්තාව දූෂණයට බොහෝ විට විරුද්ධයි. ඒ වගේම නාස්තියට විරුද්ධයි. ඒ නිසා කාන්තාව දේශපාලනය තුළ තීරණ ගැනීමට යොමු වන විට ආණ්ඩුව සමබරව කටයුතු කිරීමට යොමු වෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කඩුවෙල ආසන සංවිධායිකා කුමාරි පතිරගේ මහත්මිය

දේශපාලන ශක්‍යතාව වැඩි කාන්තාවන් පළාත් පාලන නියෝජනයට යා යුතුයි. පළාත් සභාව නුදුරේ දී පවත්වයි කියන අනුමානය යටතේ ඒ සඳහා අපි සූදානම් විය යුතුයි. සමාජ ආර්ථික ගැටලු ආදරණීය කාන්තාවන්ට අවසන් කර ගත හැකියි. අතමිට දිග ඇරලා වියදම් කිරීමට කාන්තාවට නොමැති වීමට පුළුවන්. කාන්තාව තුළ ලජ්ජා බය තවමත් තිබෙනවා. ඒ නිසා කාන්තාවගේ අත්වල වංචා දූෂණය ගෑවිලා නැහැ. ආසියානු කාන්තාවන් දේශපාලනය තුළ ගන්නා තීරණ සීයට දෙසීයක් නිවැරැදියි. කුස්සිය හසුරුවන්නේ ඇය. ළිප ගිනි මොළවන්නේ ඇය. එම නිසා ඇයට කළමනාකරණය හොඳින් පුළුවන්.

කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රිනී මසීනා බකර් මහත්මිය,

අපේ රටේ නීතිය හදන තැනට කවුද යවන්නේ කියන ප්‍රශ්නය තිබෙනවා. තීන්දු ගන්නා තැන්වලට කාන්තාව යොමු කළ යුතුයි. ඒ සඳහා අපට අවස්ථාව ලබා ගත යුතුයි. 2017 මැතිවරණ සංශෝධන පනතට අනුව කාන්තා නියෝජනයට සියයට 25 ක කෝටා එකක් ලැබුණා. බිම් මට්ටමේ අභියෝග ජය ගැනීමට කාන්තාවන් 2000ක් පමණ මේ සඳහා පෙනී සිටියා. හැම පක්ෂයකටම වගකීමක් යුතුකමක් තිබෙනවා අපේක්ෂිකාවන් සොයාගෙන ඔවුන්ට ලබාදීම සිදු කළ යුතුයි. බිම් මට්ටමේ ගැටලු ජාතික මට්ටමට ගෙන එමින් විසඳුම් ලබාදීමට හැකි වන ආකාරයට කාන්තාවන්ට අවස්ථාව ලබා දිය යුතුයි. කුමන දිස්ත්‍රික්කයකින් හෝ කුමන ප්‍රදේශයකින් හෝ කාන්තාවක් මැතිවරණයට ඉල්ලන්නේ නම් එම කාන්තාව ජයග්‍රහණය කරවීමට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතුයි.

මොරටුව මහ නගර සභාවේ සමගි ජන බලවේගයේ හිටපු නාගරික මන්ත්‍රිනී ලිහිනි ප්‍රනාන්දු මහත්මිය

2024 මහමැතිවරණය කියන්නේ මෙරට ඉතිහාසයේ තීරණාත්මක මැතිවරණයක්. මේ රටේ ජනතාව ක්‍රමවේදයේ වෙනසක් බලාපොරොත්තුවෙන් මැතිවරණයට ඡන්දය ලබාදීම සිදු කරන අවස්ථාවක් විදියට මේ අවස්ථාව හැඳින්විය හැකියි. යම් රටක වෙනසක් කිරීමට නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල වගකීම වන්නේ නාමයෝජනා දෙන විට ලංකාවේ සෑම ජන වර්ගයක්ම නියෝජනය වන පරිදි නාමයෝජනා ලබා දිය යුතුයි. එසේ නාමයෝජනා ලබාදෙන විට සියයට 56 ක් වන කාන්තාවන්ට ඒ සුදුසු තැන ලබා දිය යුතුයි. ජාතික ලැයිස්තුවටත් කාන්තා නියෝජනය ලබා දිය යුතුයි. වත්මන් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට පක්ෂවලට අවංක උවමනාවක් තිබෙන්නේ නම් කාන්තාවට වැඩි අවස්ථාවක් ලබා දිය යුතුයි. ඡන්ද දායකයන්ගේ මනාප තුනෙන් එකක් කාන්තා නියෝජිතයෙකුට ලබාදෙන ලෙසට ඉල්ලීමකුත් මම කරනවා. රටක් ඉදිරියට යාමට නම් කාන්තාවට තීරණ ගත හැකි ජාතික මට්ටමක් තිබිය යුතුයි.

මෙම අවස්ථාවට ජන අරගල සන්ධානයේ ස්වතිකා අරුලිංගම්, සමගි ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් සංවිධායිකා උමා චන්ද්‍රප්‍රගාෂ්, මොරටුව හිටපු නාගරික මන්ත්‍රිනී ශිරෝමි ඉන්දිකා කුරේ, එක්සත් ජාතික පක්ෂයේ අම්බලංගොඩ නගර සභාවේ කණ්ඩායම් සංවිධායිකා ඉන්ද්‍රා අයිරාංගනී, කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රිනී උළුවඩුගේ සඳමාලි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහරගම නගර සභාවේ හිටපු මන්ත්‍රිනී චන්ද්‍රිකා ද සොයිසා, සමගි ජන බලවේගයේ ගම්පහ නගර සභාවේ හිටපු මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරල මහත්ම මහත්මීහු සහභාගි වූහ.