ක්‍රිකට් පාවාදීමේ නඩුවේ සාක්ෂි නොදී අමෙරිකාවේ ක්‍රිකට් තරගාවලියකට ගිහින්

‘ලෙජන්ඩ්ස් ක්‍රිකට් ට්‍රෝෆි 2024‘ තරගාවලියේදී ක්‍රිකට් තරගාවලිය පාවාදීම සම්බන්ධයෙන් වන නඩුවේ සාක්ෂි ලබාදීමට ඉදිරිපත් නොවී අධිකරණයට නොදන්වා විදෙස්ගත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු පිතිකරු උපුල් තරංග මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතලේ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර‍ ප්‍රේමරත්න මහතා ඊයේ (08) වරෙන්තු නිකුත් කළේය.

මෙම නඩුවේ සාක්ෂිකාර ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා මෙරටට පැමිණීමේදී එනම්, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

මෙම නඩුවේ පැමිණිලිකරු වන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග වරුෂ විතාන මහතා පැමිණිල්ලේ සාක්ෂි ලබාදීම දෙවතාවක් සිදු කළ ද අධිකරණයට නොදන්වා විදෙස්ගත වීමෙන් අධිකරණයට අපහාසයක් කර ඇති බවත් ඒ හේතුවෙන් ඔහුට එරෙහිව වරෙන්තුවක් නිකුත් කරන ලෙසත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ උදාර කරුණාතිලක මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. සාක්ෂිකාර උපුල් තරංග මහතා අමෙරිකාවේ පැවැත්වෙන පෞද්ගලික ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා විදෙස්ගත වූ බවට සඳහන් කරමින් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකයට පණිවිඩයක් යොමු කර ඇති බව ද රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

එසේම, සාක්ෂිකාර උපුල් තරංග යන අය වෙනුවෙන් නීතිඥවරයකු අධිකරණයේ පෙනී සිටිමින් සඳහන් කර සිටියේ තම සේවාදායකයා ක්‍රීඩා තරගයක් සඳහා විදෙස්ගත වූ බවය.

මෙම නඩුවේ අනෙක් සාක්ෂිකරුවන් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ විරෝධී ඒකකයේ හිටපු කළමනාකරු තේජක වනිගසේකර සහ ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතාගේ කළමනාකරු ශ්‍යාම් ඉම්පෙක් යන අය ඊයේ (08) අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මෙහි විත්තිකාර ඉන්දියන් සෑම්ප් ආමි කණ්ඩායමේ කළමනාකාර යෝගි පටෙල් යන අයවලුන් ‍ඊයේ (08) අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පෙනී සිටියේය.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍ර‍ධාන පොලිස් පරීක්ෂක සුපුල් විදානගේ, පොලිස් පරීක්ෂක රන්දිල් සංජීව යන නිලධාරීහු අධිකරණය හමුවේ පෙනීසිටියහ.

‘ලෙජන්ඩ්ස් ක්‍රිකට් ට්‍රෝෆි 2024‘ තරගාවලිය ඉකුත් 08 වැනිදා සිට 19 වැනිදා දක්වා මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැතුවූ අතර එම තරගාවලිය ඩුබායි රාජ්‍යයේ ලියාපදිංචි කර ඇති ගේම් ටයිම් වෙචර්ස් ඉවෙන්ට් ඕගනයිශේෂන් එල්.එල්.සී. නමැති ආයතය මඟින් සංවිධානය කර තිබිණි.

මෙම තරගාවලිය සඳහා ක්‍රිකට් කණ්ඩායම් හතක් සහභාගි වී ඇති අතර, ඉන්දියන් පංජාබ් රෝයල්, කැන්ඩි සෑම්ප් ආමි, කලම්බු ලයන්ස්, දිල්ලි ඩෙවිල්ස්, ඩුබායි ජයන්ස්, එන් වයි සුපර්ස්ටාර්ස් ස්ට්රආයිකර්ස් සහ රාජස්තාන් කිංස් එම ක්‍රීඩා කණ්ඩායම් වේ.

මෙහි චුදිත පැමිණිලිකරුට කතා කොට ආරම්භක පිතිකරුවන් ලෙස තරගයට පැමිණ තනි ඉලක්කමේ ලකුණුකින් පසු තමා විසින්ම දැවී යන ලෙසත් ඒ සඳහා සැලකිය යුතු මුදලක් ඔවුන්ට ලබාදීමට සූදානම් බවත් ප්‍ර‍කාශ කර තිබූ බවට අධිකරණයේදී කරුණු හෙළිවිණි. මෙම නඩුව යළි ලබන ජනවාරි මස 15 වැනිදා මාතලේ මහාධිකරණයේදී කැඳවීමට නියමිතය.