ඉම්රාන් ඛාන් නිදහස් කරන්නැයි පාකිස්තානයේ විරෝධතා-උද්ඝෝෂණ වැළැක්වීමට රජය අන්තර්ජාලය අත්හිටුවයි

සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ නායකයන් සහ ආධාරකරුවන් ඉස්ලාමාබාද් නුවර විරෝධතා රැලියක් ආරම්භ කර ඇතැයි ද, විරෝධතා මැඬ පැවැත්වීම සඳහා පාකිස්තාන රජය නගර රැසක අන්තර්ජාල සබඳතා අත්හිටුවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා ආරම්භ වූ විරෝධතා පාලනය කිරීමට එරට කැරැලි මර්දන පොලිසිය කැඳවා ඇති අතර, නගර රැසක මාර්ග බාධක යොදා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඉස්ලාමාබාද් නුවර විරෝධතා රැලිය විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් භාවිත කිරිමෙන් විරෝධතාකරුවන් හා පොලිසිය අතර ගැටුම් සිදුවූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ගැටුම්වලට මුල් වූ විරෝධතාකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද වාර්තා වේ. සමාජ මාධ්‍යජාලා ඔස්සේ ජනතාව විරෝධතාව සඳහා ඒකරාශී කිරීම වැළැක්වීමට ඉස්ලාමාබාද්, කරච්චි සහ රාවල්පිණ්ඩි ඇතුළු නගර රැසක අන්තර්ජාල සබඳතා බිඳ වැටී ඇති අතර, සෙසු නගරවලින් ඉස්ලාමාබාද් නුවරට ජනතාව පැමිණිම වැළැක්වීමට මාර්ග බාධක රැසක් ස්ථාපිත කර ඇතැයි වාර්තා වේ.

මේ අතර කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂ නායකයා වන අලි අමින් නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බවත්, නීතිවිරෝධීව ඔහු රඳවා තබාගෙන සිටින බවත් එම පක්ෂය නිවේදනය කර ඇති අතර, රජයට හිතවත් සන්නද්ධ කණ්ඩායම් එය සිදු කළ බවට ද චෝදනා කර ඇතැයි වාර්තා වේ.