අනාරක්ෂිතභාවයෙන් දරුවන් බේරාගන්න සැලැස්මක් ඕනෑ-අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය

දරුවන් මුහුණ දෙන අනාරක්ෂිතභාවයෙන් සහ තරගකාරී අධ්‍යාපන ක්‍රමයෙන් ඔවුන් බේරාගැනීමට සැලැස්මක් අවශ්‍ය බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.

අනාරක්ෂිතභාවය සහ තරගකාරී අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් දරුවන් ප්‍රශ්න රැසකට මුහුණ දෙන බවත්, දරුවන් ඉන් මුදා ගැනීමට විධිමත් සැලැස්මක් අවශ්‍ය බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළාය.

ලෝක මානසික සෞඛ්‍ය දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් අගමැතිනිය මේ බව ඊයේ (08) ප්‍රකාශ කළාය.

“රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යට මුල්තැනක් දෙමු’’ තේමාවෙන් ලෝක මානසික සැමරුම් දින ජාතික උත්සවය පැවැත්විණ.

අගමැතිනිය මෙසේද පැවසුවාය.

මානසික ව්‍යාකූලතාව හේතුවෙන් ලෝකයේ වසරකට ලක්ෂ 07ක සංඛ්‍යාවක් සිය දිවි නසා ගැනීම් සඳහා යොමු වෙනවා. මානසික පීඩාවෙන් දුක් විඳිනු ලබන්නේ බොහෝ විට වයස අවුරුදු 15ත්, 29ත් අතර තරුණ පරපුර බව සෞඛ්‍ය දත්ත වර්තා තුළ සඳහන්. පාසල් පද්ධතිය සහ සමාජය තුළ දරුවාගේ ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි වීම සහ අධ්‍යාපනයට අදාළ ක්ෂේත්‍රවල ඇතිව තිබෙන තරගකාරීත්වය මඟින් පාසල් දරුවන් ප්‍රශ්න රාශියකට මුහුණ දෙනවා. පවුල සහ ප්‍රජාව තුළ දරුවන්ගේ මානසික සෞඛ්‍ය රැක ගැනීමට සකස් කළ යුත්තේ කුමන ප්‍රතිපත්ති ද, සැලසුම් ද යන්න පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය යුතුයි.

මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය අතිශයින්ම වැදගත් අවධානය නොලබන ක්ෂේත්‍රයක් “රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යයට මුල්තැනක් දෙමු’’ යන්න වැදගත් තේමාවක්. ආර්ථීක දේශපාලන සාමාජීය අර්බුද රැසක් පවතින කාලවකවානුවක වැඩ කරන ස්ථානය තුළ සියලු පුරවැසියන්ට මුහුණදීමට සිදුවන ආතතීන් අපහසුතා වැඩි වෙනවා. තමන්ගේ දරුවා පාසලට භාරදුන් පසු පාසල තුළ ආරක්ෂාව පිළිබඳ විශ්වාසයක් නැතිනම්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිළිබඳ විශ්වාසක් ඇතිව දරුවන් තැබිය නොහැකි නම්, වැඩිහිටියන් බලා ගැනීමට නිසි ක්‍රමවේදයක් සමාජය තුළ නැතිනම් ආයතනයේ තිබිය යුතු මානසික සුවය සමඟ වැඩ කිරීමට අපහසු වෙනවා. ආයතනයක් තුළ ස්ත්‍රී පුරුෂ අනන්‍යතා නිසා ඇතිවන වෙනස් කොට සැලකීම්, ලිංගික අතවර වැනි දේ පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. සියදිවි නසාගැනීම්, සියදිවි නසා ගැනීමට තැත් කිරීම් වැනි දේවල් දැන් ප්‍රචලිත වෙලා තිබෙනවා. පාසලේ, ගුරුවරුන්ගේ, මවුපියන්ගේ අතපසු වීම් නිසා මේ දේවල් සිදු වන බව කියමින් දොස් කියන්න සිදුවෙලා තිබෙනවා. ඊට එහා මේ කරුණ දිහා අවධානය යොමු කර දරුවන් මේ සඳහා පත් කරන ක්‍රියාවලිය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. තරුණ තරුණියන් වෙනුවෙන් සංවේදී මානසික සෞඛ්‍ය සේවාවන් දියුණු කිරීම පිළිබඳ අවධානය යොමු කිරීමත් ඉතාමත්ම අත්‍යවශ්‍යයි.

ගෘහය සහ වැඩ කරන ස්ථානය තුළ ජනතාවට මානසික සුවය ලබාදිය යුත්තේ කෙසේ ද, මානසික සුවය සහ මානසික යහපැවැත්ම දියුණුව සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම ගැන සමාජය තුළ සාකච්ඡාවක් ඉතා වැදගත් වෙනවා. ආයතනය තුළ තිබෙන විධිවිධාන සහ නීතිරීති පිළිබඳව පමණක් නොව සමාජයේ සමතුලිතතාවක් පවත්වා ගත හැකි පරිසරක් ගොඩනැ‍ඟීමට මැදිහත් වී ඇති ආකාරය පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. ළමා නිවාස, රැඳවුම් නිවාස, මානසික සෞඛ්‍ය සඳහා වන රෝහල් මෙන්ම ආයතනගත පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍ය සේවා දියුණු කිරීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. සියලුම ක්ෂේත්‍රවල වැඩ කරන සියලු සේවකයන් පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. මෙය අතිශයින්ම වැදගත් මාතෘකාවක්. මම ඉල්ලීම් කරන්නේ පුළුල් ලෙස මේ පිළිබඳ සාකච්ඡා කරන ලෙසයි. මෙය වෛද්‍ය ප්‍රශ්නයක් පමණක් නෙමෙයි. මෙය මනෝ සමාජයීය ප්‍රශ්නයක්. මානසික සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට ඇති බාධාවන් කුමක් ද යන්න පිළිබඳ හොඳ තේරීමක් අවධානයක් තිබිය යුතුයි. ඒ වෙනුවෙන් සියලු දෙනා වැඩ කළ යුතුයි. ඒ සඳහා රජයක් ලෙස අප ප්‍රමුඛතාවය ලබාදීමට කටයුතු කරනවා.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය නියෝජනය කරමින් වෛද්‍ය ශලාලා අමදෝවා, මානසික සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂ රොහාන් රත්නායක මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය කාර්ය මණ්ඩල පිරිසක් එක්ව සිටියහ.