කොළඹ පොත් ප්‍රදර්ශනයේදී අසාධාරණ ලෙස අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියා සාධාරණය පතයි

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී පහරකෑමට ලක් වූ පුද්ගලයකු වෙනුවෙන් පෙනී සිටි අවස්ථාවකදී නිකරුණේ තමා අත්අඩංගුවට ගත්තායැයි මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනමාධ්‍ය සාමූහිකය විසින් මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදී ඊයේ (07) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පොත් කුටියක ආරක්ෂකයකු හා තරුණයකු අතර සිදුවූ බහින්බස්වීමක් හා පහරදීමක් වැළැක්වීමට තමන් ඉදිරිපත් වූ අවස්ථාවේ මහජන සාමය කඩ කළායැයි චෝදනා කරමින් පොලිසිය මෙසේ තමන් අත්අඩංගුවට ගත් බවද කීවේය.

මෙහිදී ඔහු ඒ සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කර සිටියේය.

“පොලිසිය මගේ මාධ්‍ය හැඳුනුම්පත ඉල්ලුවා. එය කල් ඉකුත් වූ එකක් කියලා මාව අපහසුතාවට ලක් වෙන ලෙස කතා කරා. මට අවශ්‍ය වුණේ මම වෘත්තීමය මාධ්‍යවේදියකු බව පැවසීමට විතරයි. පහරකෑමට ලක් වූ තරුණයයි ඔහුගේ බිරියයි අපහසුතාවට පත්වුණ විදිහ මං දැක්කා. මම ඔවුන් වෙනුවෙන් විතරක් නෙවෙයි, සමස්ත මහජනතාව වෙනුවෙන් කතා කළේ. පොලිසිය මාව පැය පහක් පමණ අත්අඩංගුවට ගෙන හිටියා. හිරකූඩුවේ ඉඳන්ම තමයි මගේ කට උත්තරේ ගත්තේ. රටේ ඕනෑම අසාධාරණයක් වෙනුවෙන් පෙනී සිටිනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී විසඳුමක් බලාපොරොත්තු වෙනවා.“

ජනමාධ්‍ය සාමූහිකයේ මාධ්‍යවේදී තිළිණ අලහකෝන්, මෙහිදී අදහස් දැක්වූ අතර මාධ්‍යවේදී ප්‍රේම් කුලතිලක ඇතුළු ජනමාධ්‍ය සාමූහිකයේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුම සම්බන්ධව සිටියහ.