කරච්චි නුවර ගුවන්තොටුපොළ අසල ත්‍රස්ත ප්‍රහාරයක්-චීන ජාතිකයෝ දෙදෙනෙක් මරු දකිති

පාකිස්තානයේ කරච්චි ගුවන්තොටුපොළ ආසන්නයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් චීන ජාතිකයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා රාත්‍රී මේ ප්‍රහාරය එල්ල වී ඇත්තේ සින්ද් ප්‍රාන්තයේ විදුලිබල ව්‍යාපෘතියක සේවය කරන චීන ඉංජිනේරුවරුන්ගේ රථ පෙළක් ඉලක්ක කරමින් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ප්‍රහාරයෙන් තවත් 10 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.

මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවත්, මියගිය අය අතර තවත් මළ සිරුරක් තිබූ බවත් ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇති අතර, එම නාඳුනන මළ සිරුර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදු කළ ත්‍රස්තවාදියාගේ බවට සැක කෙරේ.

ප්‍රහාරයේ වගකීම බලුකිස්තාන විමුක්ති හමුදාව භාර ගෙන ඇති අතර, කරච්චි ගුවන්තොටුපොළෙන් පැමිණෙන චීන ජාතිකයන් සහ ආයෝජකයන් ඉලක්ක කරමින් එම ප්‍රහාරය සිදු කළ බව නිවේදනයක් නිකුත් කරමින් බලුකිස්තාන විමුක්ති හමුදාව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.