2026 විස්සයි20 ලෝක කුසලානය දක්වා පුහුණුකරු ලෙස පත්වූ ජයසූරිය කියයි

ජාතික ක්‍රිකට් කණ්ඩායමට දේශීය පුහුණුකරුවකු පත්වීමේදී අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන බවත්, හොඳම කණ්ඩායම සමඟ රට වෙනුවෙන් කැපවීමේ විශාල වගකීමක් දේශීය පුහුණුකරුවන්ට පැවරෙන බවත් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරු ලෙස වැඩ භාරගත් සනත් ජයසූරිය ප්‍රකාශ කළේය. පසුගිය ජූලි මස අග භාගයේ තාවකාලික පුහුණුකරු ලෙස පත්වූ සනත් ජයසූරිය යටතේ ශ්‍රී ලංකා පිල ඉන්දියාවට, එංගලන්තයට සහ නවසීලන්තයට එරෙහි තරගවලදී සාර්ථකව ක්‍රීඩා කිරීම හේතුවෙන් ඔහු පසුගිය 1 වැනිදා සිට වසර 2026 මාර්තු 31 වැනිදා දක්වා මාස 18ක කාලයක් සඳහා ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළේය.

තරගාවලි දෙකක් සඳහා තාවකාලික පුහුණුකරු ලෙස පත්වීමෙන් පසු පළමුවරට සිය ධුරයේ කටයුතු කළ ජයසූරිය යටතේ ශ්‍රී ලංකා පිල වසර 27කට පසු එක්දින තරගාවලියකින් ඉන්දියාව පරාජය කිරීමට සමත්වූ අතර, අනතුරුව එංගලන්ත සංචාරයේ තුන්වැනි ටෙස්ට් තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ද සමත්විය. එම සාර්ථකත්වය හේතුවෙන් පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරය කළ නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගමාලාව දක්වා ඔහුගේ සේවා කාලය දීර්ඝ කර තිබූ අතර, එහිදී නවසීලන්තය තරග 2-0කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා පිල සමත්වීමත් සමඟ ජාතික කණ්ඩායමේ නිත්‍ය පුහුණුකාර ධුරයට ඔහු තෝරා ගැනිණි.

‘දේශීය පුහුණුකරුවෙක් කණ්ඩායමේ සිටියදී ක්‍රීඩකයන් සමඟ සන්නිවේදනය ගොඩක් ලේසියි. ඒ වගේම ක්‍රීඩකයන්ගේ ගැටලු විසඳීමටත් පහසුවක් තියෙනවා. මම සාකච්ඡා කරන දේවල්වල වටිනාකම එයාලා දන්නවා. අනික ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ සහයෝගයත් එක්ක ඉස්සරහට යන්න ඒක ලොකු වාසියක්. හැබැයි මට ලොකු වගකීමක් තියෙනවා. මට ෆේවරිට්ස්ලා නෑ. දේශීය කෙනෙක් මේ තනතුරට ආවම මතක තියාගන්න ඕන දෙයක් තමයි ඒක. මම ස්වාධීනයි. නිතරම රට වෙනුවෙන් හොඳම කණ්ඩායම සෙල්ලම් කරන්න ඕනා. මම හරියට කළේ නැතිනම් මගෙන් පස්සේ ආයේ දේශීය පුහුණුකරුවකුට අවස්ථාවක් ලැබෙන එකක් නැති වෙයි.‘ ජයසූරිය එසේ කීවේය.

ශ්‍රී ලංකා පිලේ නිත්‍ය ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරියගේ පළමු රාජකාරිය ලබන 13 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය වන අතර, පසුව පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී කොදෙව් පිලට එරෙහිව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය පැවැත්වීමට නියමිතය.