ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීම අධ්‍යක්ෂ සහ තුල්හිරිය ගුරුවරයා යළි රිමාන්ඩ්

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටස්තර පුද්ගලයකුට ලබාදීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ පාසල් ගුරුවරයා ඊයේ (07) දින යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර මහත්මිය නියෝග කළාය.

මෙලෙස බන්ධනාගාරගත කරන ලද්දේ කුරුණෑගල තිත්තවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 58 හැවිරිදි මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් සහ මෙහෙයුම් අධ්‍යක්ෂකවරයකු වන ඊ.ජී.එස්. තිත්තවැල්ල නමැති පහ වසර ශිෂ්‍යත්ව සැකසීමේ කමිටුවේ සාමාජිකයෙකු සහ අලව්ව තුල්හිරිය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි රජයේ පාසලක ගුරුවරයකු මෙන්ම ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වාගෙන යන ගුරුවරයෙකි. මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුවන බවත් උපකාරක පන්ති ගුරුවරයා විසින් අදාළ ප්‍රශ්න බෙදා හැරීමට යොදාගත් පරිගණක සහ ජංගම දුරකතන තවදුරටත් පරීක්ෂා කරන බැවින් මෙම සැකකරුට ඇප ලබා දීම විමර්ශන කටයුතු සදහා බාධාවක් විය හැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටී රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වන ලදී. අදාළ ප්‍රශ්න කිහිපය යතුරුලියනය කිරීම සඳහා සැකකරුවන් විසින් ලබාදුන් ස්ථානය ද මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඒ හැරුණු විට තවත් කරුණු රාශියක් අනාවරණය වෙමින් පවතින බවත් රජයේ නීතිඥවරයා පැවසීය. මෙම සැකකරුවන්ට ඇප ලබාදුනහොත් මහජන කැළඹීමක් ඇති විය හැකි බැවින් සැකකරුවන්ට ඇප ලබාදීමට විරෝධය පළ කරන බව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දැක්විය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.