නිලන්ත ජයවර්ධන පාස්කු වන්දි නඩුවේ මිලියන 75 ගෙවා දමයි-ප්‍රමාදයට සමාවත් ඉල්ලයි

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දෙන ලද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මඟින් නියම කළ රුපියල් මිලියන හැත්තෑපහක වන්දි මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කිරීමට තමන් කටයුතු කළ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සිය නීතිඥවරයා මඟින් ඊයේ (07) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

නියම කළ කාල සීමාව තුළදී අදාළ වන්දි මුදල ගෙවීමට නොහැකි වීමෙන් සිදුවූ ප්‍රමාදය සම්බන්ධයෙන් විවෘත අධිකරණය හමුවේ පෙනී සිටි නිලන්ත ජයවර්ධන මහතා සත් පුද්ගල විනිසුරු මඬුල්ලෙන් සමාව ඉල්ලා සිටියේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා, ඒ.එච්.එම්.ඩී. නවාස්, කුමුදුනි වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවන ලද අවස්ථාවේදී මේ බව සඳහන් කෙරිණ. මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට අනුව වග උත්තරකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා අධිකරණය හමුවේ පෙනී සිටි

අතර ඔහු වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා සඳහන් කළේ අධිකරණය විසින් නියම කළ වන්දි මුදල ගෙවීමට තම සේවා දායකයාට මීට පෙර හැකියාවක් නොතිබූ බවය.

ඔහු සක්‍රිය සේවයේ නියුතු පොලිස් නිලධාරියකු බැවින් මෙම වන්දි මුදල් ගෙවීම සඳහා වෙනත් කිසිවකුගෙන් මුදල් ඉල්ලා සිටීමට හැකියාවක් නැති බව ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වුවද ඉතිරි වන්දි මුදල් සඳහා වන රුපියල් මිලියන හැටපහක මුදල පරිත්‍යාග කිරීමට ඔහුගේ හිතමිත්‍රාදීන් පිරිසක් කැමැත්ත පළ කර ඇති අතර එම මුදල් නිලන්ත ජයවර්ධන මහතාගේ බිරිඳගේ බැංකු ගිණුම් වෙත ලැබී ඇති බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

එම මුදල් හානිපූර්ණ කාර්යාලයට ගෙවීමට කටයුතු කරන ලෙස එම බැංකු වට ස්ථාවර නියෝගයක් ලබා දී ඇති බව ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව සිය සේවාදායකයා අදාළ අධිකරණ නියෝගය අනුව කටයුතු කරමින් සම්පූර්ණ වන්දි මුදල ගෙවීමට කටයුතු කරන බැවින් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නඩු විභාගය තවදුරටත් පවත්වාගෙන යාම සිදු නොකරන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී සෙසු විනිසුරුවරුන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ වන්දි මුදල් ගෙවීමට වගඋත්තරකරුවන්ට කාල සීමාවක් නියම කර තිබූ බවය.

අදාළ මුදල් ගෙවීම හැර එය සොයා ගත් ආකාරය සම්බන්ධයෙන් අධිකරණය අවධානය යොමු නොකරන බව අගවිනිසුරුවරයා සඳහන් කළේය.

අදාළ අධිකරණ නියෝගය අනුව කටයුතු කර ඇති බව තහවුරු කරන ලේඛන ඊයේ පස්වරු 1.30ට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එහිදී ජනාධිපති නීතිඥවරයාට නියම කෙරිණ.

එසේ මුදල් ගෙවූ බව තහවුරු කිරීමට වගඋත්තරකරු අපොහොසත් වන්නේ නම් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ වූ නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යන බවත් අගවිනිසුරුවරයා සඳහන් කළේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය සඳහන් කළේ අධිකරණය විසින් මීට පෙර සිදු කළ නියමය අනුව හානි පූර්ණ කාර්යාලය විසින් වන්දි ගෙවීම් සිදු කිරීමට අදාළ තොරතුරු වගඋත්තරකාර අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත්

හිමිපාණන් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරුන් වෙත ලබාදීමට කටයුතු කළ බවය.

එහිදී අගරදගුරු හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා සඳහන් කළේ තමන්ට ලැබුණු තොරතුරු අනුව හානි පූර්ණ කාර්යාලය විසින් වන්දි ලෙස රුපියල් මිලියන හැටතුනක් පමණක් මේ වන විට ගෙවා ඇති බවය.

එහි ඉතිරි වී ඇති මුදල් වන්දි වශයෙන් ලබා දෙන්නේ කවරාකාරයෙන්ද යන්න පිළිබඳව තොරතුරු ලබාදිය හැකිනම් මෙම සිද්ධියට අදාළව පවරා ඇති නඩු ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

අනතුරුව මෙම නඩුකරය පස්වරු 1.30ට කැඳවීමට නියම කෙරිණ. පස්වරුවේ නැවත එම නඩුකරය කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයසුන්දර මහතා සඳහන් කළේ සිය සේවාදායකයාට ගෙවීමට ඉතිරිව තිබූ රුපියල් මිලියන 65ක මුදල හානි පූර්ණ කාර්යාලට ගෙවා අවසන් කළ බවය.

එම මුදල් ලැබුණු බව තහවුරු කිරීම සඳහා හානි පූර්ණ කාර්යාලයෙන් නිකුත් කරන ලද ලදුපත අධිකරණයට ඉදිරිපත් කිරීමට ඒ මහතා කටයුතු කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව නියම කරන ලද දිනයේදී අදාළ වන්දි මුදල ගෙවීමට නොහැකි වූයේ සිය සේවාදායකයාට එම මුදල ගෙවීමේ හැකියාවක් නොතිබූ නිසා බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එමඟින් අධිකරණයේ ගෞරවයට හානි කිරීමක් හෝ අපහාස කිරීමක් කිසිසේත් සිදු නොකළ බව ද සඳහන් කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා එහිදී සඳහන් කළේ මෙම නඩුකරය විශේෂයෙන් කැඳවනු ලැබූයේ නියමිත දිනට වන්දි මුදල් නොගෙවීම මඟින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට අදාළවය.

ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් ඊට අදාළ කටයුතු සිදුකර ඇති අතර අධිකරණයේ කාලය වැය වීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව අගවිනිසුරුවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සිය සේවා දායකයාට පැවැසීමට ඇත්තේ කුමක්දැයි අගවිනිසුරුවරයා ජනාධිපති නීතිඥවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

එම අවස්ථාවේදී සිය අසුනින් නැගී සිටි නිලන්ත ජයවර්ධන මහතා සඳහන් කළේ තමන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින බවය.

ඉන් අනතුරුව මෙම නඩුකරය සම්බන්ධයෙන් නියෝගය ප්‍රකාශ කරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සඳහන් කළේ වගඋත්තරකරුවන් සියලු දෙනාට එරෙහි මෙම නඩුකරය අවසන් කරන බවය.

කෙසේ වුවද අදාළ හානි පූර්ණ කාර්යාලයට ලැබුණු මුදල් වැය කළ ආකාරය සම්බන්ධයෙන් වන කරුණු සලකා බැලීම සඳහා පෙත්සම් නොවැම්බර් මස 18 වැනිදා නැවත කැඳවීමට තීරණය කරන ලදි.

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක තීන්දුව

පසුගිය ජනවාරි මස 12 වනදා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් ලබාදෙන ලදි.

එම පෙත්සම්වල වගඋත්තරකරුවන් විසින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබූ බවට එමඟින් තීරණය කරනු ලැබිණි.

ඒ අනුව ඊට වගකිවයුතු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රුපියල් මිලියන 100ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන මහත්වරු විසින් රුපියල් මිලියන 75 බැගින් ද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් රුපියල් මිලියන 50ක් ද හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් රුපියල් මිලියන 10ක් ද වන්දි වශයෙන් ගෙවිය යුතු බව නියෝග කර තිබුණි.

එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මඟින් නියම කළ වන්දි මුදල් ගෙවීමට වග උත්තරකරුවන් කටයුතු කර තිබූ අතර රුපියල් මිලියන දහයක මුදලක් පමණක් ගෙවීමට නිලන්ත ජයවර්ධන මහතා විසින් කටයුතු කර තිබුණි.

ඒ අනුව අදාළ වන්දි මුදල නොගෙවීමෙන් අධිකරණයට අපහාසයක් සිදු කළ බවට සලකා බැලීම සඳහා ඊයේ (07) දින මෙම පෙත්සම් කැඳවන ලදී.