ඉතිහාසයේ ප්‍රථම වරට රත්නපුර ශික්ෂණ රෝහලේ දී ඉකුත්දා සිදුකළ වකුගඩු සැත්කම සාර්ථක වී තිබේ.
විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු 30 දෙනෙකුගෙන් යුත් රෝහල් කාර්ය මණ්ඩලය පැය පහක් පුරා සිදුකළ මෙම සැත්කම සාර්ථක වීම රත්නපුර ශික්ෂණ රෝහල ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවත් මෙම සැත්කම සඳහා දායක වුණු සමස්ත කාර්ය මණ්ඩලයටම ස්තූතිය පළ කරන බවත් රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා පැවැසීය.
“වසර කිහිපයක් පුරා රත්නපුර ශික්ෂණ රෝහල තුළ වකුගඩු සැත්කම්වලට අවශ්‍ය පහසුකම් හා උපකරණ සපුරා ගනිමින් සිදුකළ මෙම පළමු සැත්කම සාර්ථක වීම ඉදිරියේ දී සිදුකිරීමට නියමිත සැත්කම්වලටද ලොකු පිටිවහලක් වෙනවා.
මේ සහා දැඩි සත්කාර ඒකකයේ කොටසක් පහසුකම් සහිතව සකස්කර දීමට සිංහ සමාජය කටයුතු කළා ඒ සියලු දෙනාටම සිදුකළ සේවාවන් හා ලබා දුන් සහයෝගයට ස්තුතිය පළකර සිටිනවා. “රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා මේ සාර්ථක සැත්කම ගැන අදහස් දක්වමින් සඳහන් කළේය.
සජීවීව ජීවත් වන පුද්ගලයෙකුගෙන් වකුගඩුවක් ලබා ගෙන සජීවීව ජීවත් වන අයෙකුට බද්ධ කිරීම ඉතාමත් සංකීර්ණ සැත්කමක් බවත්, මෙම සැත්කම සාර්ථක වීම රත්නපුර රෝහලටම ගෞරවයක් බවත් මෙම සැත්කම සිදුකළ හදසි අනතුරු ඒකකය භාර විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනිය වන ප්‍රමිලා ප්රියචන්ද්ර මහත්මිය පැවසුවාය.
මෙම වකුගඩු සැත්කම සඳහා අවශ්‍ය වී තිබූ වකුගඩුව ලබා දීමට කටයුතු කර තිබුණේ රත්නපුර කහවත්ත ඇල්ලගේවත්ත පදිංචි වයස අවුරුදු 57ක් වන කේ.වී. සිරිපාල මහතා විසිනි.
වකුගඩු බද්ධය සිදුකර ඇත්තේ කහවත්ත බෝමලු විහාරයේ වැඩ සිටින වයස අවුරුද 69ක් වන නීලඳුරේ චන්ද්‍රසිරි හිමියන්ටය.
මෙම සැත්කම සිදුකිරීමට පෙර මෙම සැත්කමට සම්බන්ධව වූ හෙද කාර්ය මණ්ඩලයේ පස් දෙනකු සඳහා මහනුවර මහ රෝහලේ වකුගඩු සැත්කම් ඒකකය තුළ සති දෙකක පුහුණුවක් ලබා දීමට ද රෝහල් පාලනාධිකාරිය මඟින් පියවර ගෙන තිබිණි.
සැත්කම සාර්ථකව සිදුකිරීමට හා අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට විශේෂඥ වෛද්‍යවරුන් වන ලක්ෂ්මන් වීරසේකර, චානක ආරච්චිගේ, ගයාන් බණ්ඩාර, විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරුන් වන අනුර ප්‍රනාන්දු, ලක්ෂ්මී රණසිංහ, යන මහත්ම මහත්මීන් ද, හදිසි අනතුරු ඒකකය භාර විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනිය වන ප්‍රමිලා ප්රියචන්ද්ර, හදිසි අනතුරු විශේෂ ඒකකයේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනිය වන කමනී විජේසිංහ යන මහත්මීන් ඇතුළු හදිසි අනතුරු ඒකකයට සම්බන්ධ දැඩි සත්කාර ඒකක දෙකේ හෙද කාර්ය මණ්ඩලයේ හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 30 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් දායක වී ඇත.