බීරුට් අගනුවර ගුවන්තොටුපොළ ආසන්නයට ඊශ්‍රායල හමුදාවෙන් බෝම්බ හෙළීමෙන් පසු ඉරාන විදේශ ඇමැති අබ්බාස් අරගචි බීරුට් නුවරට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහු රැගත් ගුවන් යානය බීරුට් ගුවන්තොටුපොළට ගොඩබස්වා ඇත්තේ බෝම්බ ප්‍රහාරයෙන් මිනිත්තු කිහිපයකට පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
හෙස්බුල්ලා නායක හසන් නස්රුල්ලා ඝාතනය කිරීමෙන් පසු කලින් දැනුම්දීමකට අනුව ලෙබනනයට පැමිණි ඉරානයේ පළමු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයා ඔහු බව ද වාර්තා වේ. හෙස්බුල්ලා සංවිධානයේ සහාය ලැබෙන්නේ නම් වහාම සටන් විරාමයක් සඳහා ජාත්‍යන්තරයට බලපෑම් කරන බව එහිදී ඉරාන විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කර ඇති අතර, ගාසා තීරයේ සටන් විරාමයක් සම්බන්ධයෙන් ද අවධානය යොමුවී ඇතැයි සඳහන් කර තිබේ.
ඔහු ලෙබනනයේ අගමැති නජිබ් මිකාටි මුණ ගැසී සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර, ලෙබනනයට සහාය වීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ප්රචාරක වැඩසටහනක් ආරම්භ කරන බවට ද ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලෙබනනයේ ජනතාවට බෙදා දීම සඳහා ටොන් 10ක ආහාර, ඖෂධ ඇතුළු මානුෂීය ආධාර තොගයක් ද ඉරානයෙන් නැව්ගත කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.