ගෙවී ගිය අවසන් කාර්තු 3දී ඉන්දියාව අමෙරිකාවට ඩොලර් බිලියන 2ක ස්මාර්ට් ෆෝන් අපනයනය කර ඇතැයි බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත් සේවය වාර්තා කළේය. අමෙරිකාවේ ඇපල් සමාගම වෙනුවෙන් අයිෆෝන් නිෂ්පාදනය කර අපනයන කරනු ලබන ඉන්දියාවේ එම අපනයනය වටිනාකම දියමන්ති අපනයනයටත් වඩා වැඩි බව ද බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. ඒ අනුව අමෙරිකාවට ඉන්දියාවේ විශාලතම නිෂ්පාදන අපනයනය බවට ස්මාර්ට් ෆෝන් පත් වී ඇතැයි ද වාර්තා වේ.
ඉන්දියාවේ වාණිජ දෙපාර්තමේන්තුවේ නවතම දත්ත සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත් සේවය සඳහන් කර ඇත්තේ අදාළ කාර්තු 3දී ඉන්දියාව ඩොලර් බිලියන 1.44ක දියමන්ති අපනයනයක් අමෙරිකාවට සිදු කර ඇති බවය. එම අපනයන වර්ධනය ආරම්භ වී ඇත්තේ පසුගිය දෙසැම්බර් කාර්තුවේදී බවත්, එවර ඉන්දියාව ඩොලර් බිලියන 1.3ක අගයකින් යුතු දියමන්ති සහ ඩොලර් බිලියන 1.42ක අගයකින් යුතු ස්මාර්ට් ෆෝන් අපනයනයක් සිදු කළ බවත් වැඩිදුරටත් වාර්තා වේ. ඒ අනුව ගත වූ අවසන් කාර්තු 3දී දියමන්ති අපනයනය පහළ වැටී ඇතැයි ද, ස්මාර්ට් ෆෝන් අපනයනය ඉහළ ගොස් ඇතැයි ද බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත් සේවය සඳහන් කළේය.