පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම පළාත් පාලන ඡන්දය පවත්වනවා-මැතිවරණ කොමිෂන් සභාව

ලබන මස පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබේ.

එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මහ මැතිවරණය අවසන් වූ වහාම ඒ සඳහා දින නියම කරන බවයි.

මෙරට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සුරැකීම සඳහා සිය කාර්යභාරය මැනවින් වටහා ගෙන ඇතැයි ද මැතිවරණ කොමිසම සඳහන් කර තිබේ. පසුගිය අගෝස්තු 22 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයට අනුකූලව නීතියෙන් නියම කර ඇති මැතිවරණ පැවැත්වීමේ කාර්යභාරය අනුව කටයුතු කරන බව ද කොමිසම වැඩිදුරටත් සඳහන් කර ඇත.