ඉන්දීය රජය විදෙස් ක්‍රීඩකයන්ගේ වැටුපෙන් 20%ක බද්දක් කපා ගනියි

අයිපීඑල් ඇතුළු ඉන්දියාවේ ක්‍රීඩා කරන තරගවලින් ආදායම් උපයන විදේශීය ක්‍රීඩකයන්ගේ වැටුපෙන් 20%ක බද්දක් ඉන්දීය රජය අය කරයි. මේ බද්ද ක්‍රීඩකයාට ගෙවීමට පෙර අයිපීඑල් කණ්ඩායම් විසින් අඩු කරනු ලැබේ. උදාහරණයක් ලෙස, විදේශීය ක්‍රීඩකයකුට ඩොලර් මිලියනයක මූලික වැටුපක් තිබේ නම්, ක්‍රීඩකයාට මුදල් ගෙවීමට පෙර බදු වශයෙන් ඩොලර් 200,000ක් අඩු කරයි.

ඉන්දියානු ක්‍රීඩකයන් ලබා ගන්නා ආදායම් එරට ක්‍රියාත්මක සාමාන්‍ය බදු අනුපාත අනුව ගෙවිය යුතු වේ. එරට ක්‍රීඩකයන්ගේ ආදායම් බදු ද ක්‍රීඩකයාට ගෙවීමට පෙර ෆ්‍රැන්චයිස් කණ්ඩායම් විසින් අඩු කරනු ලැබේ. අයිපීඑල් කණ්ඩායම්වලින් ක්‍රීඩකයන් ලබන ආදායම ඔවුන්ගේ මුළු ආදායමට එකතු කරන අතර, අනතුරුව බදු මුදල තීරණය වේ.

මේ ක්‍රමය මත විරාත් කෝලි 2024 වසරේ වැඩිම ආදායම් බදු ගෙවූ ඉන්දීය ක්‍රීඩකයා බවට පත්වෙමින් එරට රජයට ඉන්දීය රුපියල් කෝටි 66ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 234ක්) බදු මුදල් ගෙවා ඇතැයි ෆෝචූන් ඉන්දියා සඟරාව පැවසීය. 35 හැවිරිදි කෝලිගේ වාර්ෂික ආදායම කෝටි 1900ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 6746ක්) ඉක්මවයි. එබැවින් ඉන්දියාවේ ජනප්‍රිය පුද්ගලයින් අතර වැඩිම බදු ගෙවන පස්වැන්නා බවට කෝලි පත්ව තිබීම විශේෂත්වයකි.

කොල්කටා නයිට් රයිඩර්ස් සම හිමිකරු බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් එම ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසුවන අතර, කෝටි 92ක විශාල මුදලක් ෂාරුක් ඛාන් බදු වශයෙන් ගෙවා ඇත. එම්එස් දෝනි කෝටි 38ක් සහ ‘ක්‍රිකට් දෙවියා’ ලෙස සැලකෙන සචින් ටෙන්ඩුල්කාර් කෝටි 28ක් බදු මුදල් ලෙස ගෙවා ඇතැයි සඳහන් වේ.