IMF වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීමට කැපවෙනවා-ජනපති IMF දූත පිරිසට කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක සපුරා ගැනීම සහ ජනතාව වෙත එල්ලවන පීඩනය ලිහිල් කිරීම සඳහා වන විකල්ප විසඳුම් වෙනුවෙන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෘෘවර් (Dr. Peter Breuer) මහත්වරු ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් සමඟ ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිවරයා ඊයේ (03) මේ බව පැවසුවේය.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් වන මහාචාර්ය අනිල් ජයන්ත හා දුමින්ද හුලංගමුව යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිලධාරීන් පිරිසක්ද සහභාගී වූ මෙම හමුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මේ වන විට ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ සමාලෝචනයට ලක් කෙරිණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ අරමුණු සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් රජයේ පුළුල් එකඟතාව යළි මෙහි දී තහවුරු කළ ජනාධිපතිවරයා ජනතාව මත පැටවෙන පීඩනය ඉවත් කෙරෙන විකල්ප මාර්ගයන් ඔස්සේ එම අරමුණු වෙත ළඟාවීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම මෙහි දී අගය කළ IMF නියෝජිතයන් ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කරන ලද විකල්ප ප්‍රවේශයන් පිළිබඳ සාකච්ඡා කිරීමට ද එකඟතාව පළ කළහ.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වැඩසටහනේ තුන්වැනි සමාලෝචනය ආරම්භ කිරීම පිළිබඳ ද මෙහි දී දෙපාර්ශ්වයේම අවධානය යොමු කෙරුණු අතර ඉදිරි මහ මැතිවරණය හේතුවෙන් යම් ප්‍රමාදයන් ඇති විය හැකි නමුත්, බාධාවකින් තොරව එම කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහි දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සහතික විය.